අද කාලයේ සුළු රෝග තත්වයක් ඇති වුවත් බොහෝ විට ජනතාවට විශාල මුදලක් වියදම් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ. එවැනි වකවානුවක, ගෙදරදීම සරලව කළ හැකි ප්‍රතිකාර පිළිබඳ දැනුමක් ජනතාවට ලබාදීම වැදගත් වේ. එම නිසා මැණික් කටුව සන්ධියේ ඇතිවන වේදනාව හෙවත් Carpal Tunnel Syndrome පිළිබඳ සරල විස්තරයක් හා එයට කළ හැකි ගෘහ ප්‍රතිකාරයක් මෙහි සඳහන් කර ඇත. මෙම රෝගය පිරිමින්ට වඩා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ.
මෙම රෝග තත්වය ඇතිවන්නේ අතේ මැණික් කටුව හරහා ඇඟිලි වෙත ගමන් කරන median nerve නම් ස්නායුවට පීඩනයක් ඇතිවීම නිසාය. මෙම ස්නායුව අත දිගේ පැමිණ මැණික් කටු සන්ධියේ ඇති ඉතා කුඩා ඉඩකින්, එනම් carpal tunnel නම් මාර්ගයෙන් ඇඟිලි වෙත ගමන් කරයි. මහපට ඇඟිල්ල, මැද ඇඟිල්ල සහ දබර ඇඟිල්ල ක්‍රියාත්මක වීමට මෙම ස්නායුවේ ආවේග වැදගත් වේ. Carpal tunnel තුළ ඇතිවන ඉදිමීමක් හෝ පටක තදවීමක් නිසා median nerve පීඩනයට පත්වේ. එවිට ඇඟිලි තුන හිරි වැටීම, අතේ වේදනාව සහ දුර්වලතාවය වැනි ලක්ෂණ මතුවේ.
මෙම රෝගයට හේතු
- තයිරොයිඩ් ග්‍රන්තියේ අක්‍රමිකතා
- ආතරයිටිස්
- දියවැඩියාව
- ගැබ් ගැනීම
- දිගු කාලයක් පොල් මිරිකීම
- නිතර රෙදි මිරිකීම සහ සේදීම
- නිතර පරිගණක ආශ්‍රිත රාජකාරි කිරීම
- පෙදරේරු වෘත්තිය
රෝග ලක්ෂණ
- පළමු, දෙවන සහ තුන්වන ඇඟිල්ලේ හිරි වැටීම
- යමක් දිගටම අල්ලාගෙන සිටීමට අපහසුව
- වේදනාව අතේ ඉහළ පැත්තට ගමන් කරනවා මෙන් දැනීම
- ඇඟිලි නැමූ පසු දිගහැරීමට අපහසුව
ගෙදරදීම කළ හැකි ප්‍රතිකාරය
- මුලින් උණු වතුර ටිකක් නටවා, එය සෙල්සියස් 50 පමණ උණුසුමකට නිවන්න.
- එම වතුරට ලුණු කැට ස්වල්පයක් දමා පලාස්ටික් බාජනයකට දාගන්න.
- අත මැණික් කටුවටත් මදක් ඉහළින් පමණ එම වතුර තුළ විනාඩි 15ක් පමණ ගිල්වා තබන්න.
- පසුව අත හොඳින් පිස දමන්න.
- කපුරු තෙල්, මී තෙල් සහ කොහොඹ තෙල් සමාන ප්‍රමාණ ගෙන මිශ්‍ර කර තබා ගන්න.
- එම තෙල් ටිකක් රත් කර අල්ල සහ මැණික් කටුව වටා හොඳින් ගා මහපට ඇඟිල්ලෙන් මෘදු ලෙස විනාඩි 10ක් පමණ පිරිමදින්න.
- පසුව අතට ව්‍යායාම (exercise) කරන්න. එක් ව්‍යායාමයක් 15 වතාවක් ලෙස විනාඩි 30ක් පමණ කළ යුතුය.
මෙම ක්‍රමය නිසි ලෙස අනුගමනය කළහොත් බොහෝවිට වේදනාව අඩු වීමට සහ අතේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් වීමට උපකාරී වේ. මෙවැනි සරල දැනුමක් භාවිතා කිරීමෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමද අවම කරගත හැක.
මෙම දැනුම ඔබට ප්‍රයෝජනවත් නම්, ඔබටත් තවත් කෙනෙකුටත් හිතසුවක් වීමට එය බෙදාගැනීම වැදගත් වේ.
(උපුටාගැනීම – අන්තර්ජාලය)












