ලාංකේය රංගන ක්ෂේත්‍රයේ රන් අකුරින් නම සටහන් කරපු, දශක ගණනාවක් තිස්සේ අපේ ආලින්දය හැඩ කරපු ආදරණීය රංගන ශිල්පිනියක් ගැනයි අද අපි මේ කතා කරන්න යන්නේ. ඇය නමින් “මැණිකේ අත්තනායක”.
හැබැයි ඔයාලා දන්නවාද, ඇයගේ උප්පැන්න සහතිකයේ තියෙන ඇත්තම නම මොකක්ද කියලා? ඒ තමයි “අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ”. කලා ලෝකයට ආවට පස්සේ තමයි ඇය “මැණිකේ අත්තනායක” වුණේ.
ඇයගේ කලා ගමනේ අත්පොත තැබෙන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයෙන්. එතැන් පටන් සිංහබාහු, වෙස්සන්තර වගේම ‘කැළණි පාලම’ වැනි අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකම ඇය කරළිය හැඩ කළා. 1981 අවුරුද්දේ ‘මිණි සලඹ’ නාට්‍යයේ “පත්තිනි” චරිතය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මානය දිනාගන්න තරම් ඇය දක්ෂ වුණා.
ටෙලිනාට්‍ය ඉතිහාසය ගත්තොත් ‘පළිඟු මැණිකේ’ කියන්නේ අදටත් කාටවත් අමතක කරන්න බැරි නමක්. ඒ විතරක් නෙවෙයි, රංගනයට වගේම ගායනයටත් ඇය උපන් හපන්කම් දක්වනවා. සුනිල් පෙරේරා සමග ගැයූ “නෝනෙ මගෙ සුදු නෝනේ” සහ “ඈතට යමි පියඹලා” වැනි ගීත අදටත් අපේ මතකයේ රැඳිලා තියෙනවා.
ඇය කළ මේ සුවිශාල සේවය වෙනුවෙන් 1987 දී “කලාසූරි” සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම සම්මානය දිනාගත් ලාබාලතම ශ්‍රී ලාංකිකයා වීමේ වාර්තාවද ඇය සතුයි. දැන් තරමක් වයෝවෘද්ධව සිටින අපේ ආදරණීය මැණිකේ අත්තනායක මහත්මියට නිදුක් නිරෝගී සුවයත්, දීර්ඝායුෂත් අපි ප්‍රාර්ථනා කරනවා!
මුහුණු පොත ඇසුරෙන්.











