මිනිස්සුන්ට ඕනෙ මිනී පෙට්ටියක් ළඟ ඉඳන් පපුවට ගහගෙන, විලාප තියලා අඬන එක විතරක් වේදනාව විදියට දකින්න. ඒත් ඇත්තටම හිත ඇතුළෙන් මැරි මැරී උපදින සමහර ගැහැනුන්ගේ වේදනාව තියෙන්නේ කඳුළු පිටාර ගලන ඇස්වල නෙවෙයි, හිත හයිය කරගෙන මුහුණට ගන්න ඒ නිහඬ හිනාවේ.
අද ප්‍රියංකරගේ අවසන් ගමනට රටේ නායකයා එද්දි, සංයමයෙන් යුතුව ඒ සංග්‍රහශීලී හිනාවෙන් පිළිගත්ත දිල්හානිව දැකලා සමහරු අහනවා “අම්මෝ බලන්නකෝ ඒ හිනාව… මෙයාට දුකක් නැද්ද?” කියලා.
ඒ අහන අයට නොතේරෙන එකම ඇත්ත තමයි, අඬන්න ඕනෙ ජීවත් වෙලා ඉන්න කාලේ යුතුකම් පැහැර හැරපු මිනිස්සු කියන එක. ප්‍රියංකර අසනීප වෙලා වැටිලා ඉන්නකොට, මුළු ලෝකෙම එයාට අමතක වෙද්දි, පොඩි දරුවෙක් වගේ එයා ළඟින්ම ඉඳලා, දහඩිය මහන්සියෙන් එයාගේ හැම අඩුවක්ම පිරෙව්වේ දිල්හානි. තමන්ගේ ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා, කරන්න පුළුවන් උපරිම ආදරෙන් සහ ගෞරවයෙන් එයා ප්‍රියංකරව බලාගත්තා.
එහෙම ආදරේ කරපු, තමන්ගේ යුතුකම අකුරටම ඉටු කරපු ගැහැනියකගේ හිතේ පසුතැවීමක් නෑ. “අනේ මට එයා වෙනුවෙන් මේ දේ කරන්න බැරි වුණානේ” කියන වරදකාරී හැඟීමක් ඇගේ හෘද සාක්ෂියේ නෑ. ප්‍රියංකර සදහටම සමුඅරන් යන්නේ දිල්හානිගේ ඒ උතුම් ආදරයේ සුවඳත් අරගෙන.
ඉන්න කාලේ නොසලකා හැරලා, මැරුණම මිනී පෙට්ටි බදාගෙන අඬන කුහක සමාජෙකට දිල්හානිගේ මේ ආත්ම ශක්තිය තේරුම් ගන්න අමාරුයි.
ඔව් දිල්හානි, ඔයා නියම ගැහැනියක්. යුතුකම් අකුරටම ඉටු කරපු, සැබෑ ආදරයේ නාමයෙන් හිත හයිය කරගත්ත සැබෑ ආදරණීය බිරිඳක්!











