Home දේශිය පුවත් උපන්දිනය දවසට කේක් කපනවා වෙනුවට ලංකාවේ අසරණ පවුලකට අලුත්ම ගෙයක් හදලා දෙන...

උපන්දිනය දවසට කේක් කපනවා වෙනුවට ලංකාවේ අසරණ පවුලකට අලුත්ම ගෙයක් හදලා දෙන අපේ රටේ ශල්‍ය වෛද්‍යවරයා!

0
167

උපන්දිනයක් කියන්නේ අපි හැමෝම තෑගි බෝග ලබමින්, කේක් කපමින් බොහොම සතුටින් සමරන දවසක්. ඒත් තමන්ගේ උපන්දිනය දවසේ ඒ සතුට තවත් අසරණ පවුලක් එක්ක බෙදාගන්න, ඒ අයට අලුත්ම අලුත් නිවසක් තෑගි කරන අපූරු ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ගැනයි අද අපි I Love Ceylon පිටුවෙන් මේ සටහන ගෙන එන්නේ. මේ උතුම් සත්කාරය සිදු කරන්නේ ඕස්ට්‍රේලියාවේ සේවය කරන විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් මුණසිංහ මහතායි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන, එක්සත් රාජධානියේ වෛද්‍ය පුහුණුව ලබා, මේ වන විට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්ලාස්ටික් සහ ප්‍රතිනිර්මාණ ශල්‍ය වෛද්‍යවරයෙකු (Plastic and Reconstructive Surgery) ලෙස සේවය කරන ඔහු තම මව්බිම කිසිදිනෙක අමතක කර නැහැ. වෛද්‍ය නාමල් මුණසිංහ මහතා සෑම වසරකම අගෝස්තු 29 වැනිදාට යෙදෙන සිය උපන්දිනය වෙනුවෙන් තමන්ට වැයකරන මුදලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අපහසුතා ඇති අසරණ පවුලකට නව නිවසක් ඉදිකර දීමට කටයුතු කරනවා.

මේ වන විටත් ඔහු මෙවැනි නිවාස 10ක් දක්වා අසරණ පවුල් වෙනුවෙන් පරිත්‍යාග කර තිබීම විශේෂත්වයක්. දුෂ්කරතා මැද ජීවත් වන පවුලකට නිවසක් කියන්නේ හුදෙක් ගඩොල් සහ සිමෙන්ති ගොඩක් නෙවෙයි. එය දරුවන්ට බියක් සැකක් නැතුව නිදහසේ ඉගෙනගන්න, දෙමාපියන්ට ආරක්ෂිතව ජීවත් වෙන්න ලැබෙන ලොකුම බලාපොරොත්තුවක්. වැස්සෙන්, අව්වෙන් බේරී සැනසිල්ලේ නිදාගන්න ලැබෙන වහලක් කියන්නේ ඒ පවුලකට ලැබෙන අලුත් ජීවිතයක්.

තමන්ගේ උපන්දිනය තවත් කෙනෙකුගේ ජීවිතයේ අමතක නොවන සුන්දරම දිනයක් බවට පත් කරන වෛද්‍ය නාමල්ගේ මේ ක්‍රියාව අප සැමටම ලබා දෙන්නේ වටිනා ආදර්ශයක්. විශාල දේවල් කරන්න හැමෝටම බැරි වුණත්, අපිට පුළුවන් විදියට තවත් කෙනෙකුට පිහිට වෙන්න මේ මනුස්සකම අපිට කියා දෙනවා. වෛද්‍ය නාමල් මුණසිංහ මහතාගේ මේ උතුම් සත්කාරයට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරන අතරම, මෙවැනි උතුම් මිනිසුන් ගැන ලෝකයටම කියන්න මේ සටහන තවත් කෙනෙකුට කියවන්න Share කරන්න කියලත් අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා.

Previous article“අහිමි වීමකදී ගෞරවාන්විතව නිහඬ වෙන්න ඉගෙන ගන්න” චූලාගේ වියෝව හමුවේ විපරිත සතුටක් ලබන අයට චන්දිමාල් ජයසිංහගෙන් සැර කතාවක්!
Next articleගමේ පාසලකින් රටම දිනවූ ඇහැටුවැවේ පුංචි වීරයා: ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම අංක එක වූ ධනෝෂ් තීක්ෂණ!
error: Content is protected !!
Verified by MonsterInsights