කොළඹ විශ්වවිද්‍යාලයට යන්න තරම් දක්ෂ මනසක් තිබුණත්, පාසල් යන දවස්වල ඇයට පයින්ම කිලෝමීටර් තුනක් විතර දුර ගෙවාගෙන යන්න සිද්ධ වුණේ හරිම අමාරු ආර්ථික පසුබිමක් නිසා. වැස්සේ බෑග් එකත් ඉස්සරහට බදාගෙන දුවපු ඒ අතීතයේදී, යාන්තම් බයිසිකලේකින් ගිහින් දාන්න ඇහුවත් සමහර ඥාතීන් තෙල් නෑ කියලා මගහැරපු හැටි ඇයට මතකයි. ඒත් අද වෙද්දි ඒ හැම දුකක්ම ජයගෙන, තමන්ගේම වාහනයකින් ගමන් කරන්න ඇයට ගතවුණේ පුදුම හිතෙන තරම් කෙටි කාලයක්.
සිංහල පවුරක ඉපදිලා කිසිම භාෂා පන්තියකට නොගොස්, හුදෙක් දෙමළ චිත්‍රපට නරඹමින්ම පමණක් එම භාෂාව මනාව ප්‍රගුණ කළ සචිනි චතුරංගි කියන්නේ අද වන විට ලංකාවට අමතරව ඉන්දියාවේ සහ යුරෝපයේ පවා අතිශයින් ජනප්‍රිය Content Creator කෙනෙක්. රංගනය, නර්තනය වගේම චිත්‍ර කලාවෙනුත් දස්කම් පාන ඇය, මේ වන විට ඉන්දීය දෙමළ චිත්‍රපට දෙකකටම රංගනයෙන් දායක වෙමින් ජාත්‍යන්තර මට්ටමටම ගිහින් තියෙනවා.
ජීවිතේ ඇය මුහුණ දුන් ලොකුම කම්පනය වුණේ වයස අවුරුදු 18 වෙද්දී පිළිකා රෝගයකින් මව අහිමි වීමයි. ඩිමෙන්ශියාවෙන් පෙළුණු ආච්චි අම්මාත් අහිමි වීමත් සමඟ, වයස අවුරුදු 5ක පුංචි මල්ලිවත් බලාගනිමින් ඇයට සිද්ධ වුණේ පවුලේ වැඩිමලා විදිහට අම්මා කෙනෙකුගේ භූමිකාවට පණ දෙන්නයි. කොණ්ඩෙන් ඇදලා කරපු හිංසන සහ “ගෑනු ළමයෙක් නේද, මේවා කරන්න එපා” කියන සමාජ බලපෑම් මැද්දේ වුණත් ඇය තමන්ගේ ගමන නැවැත්වූයේ නැහැ.
මිනිසුන්ව ජාතිවාදයෙන් බෙදා වෙන් කරනු වෙනුවට හොඳ සහ නරක ලෙස පමණක් දකින ඇය, යාපනයේදී ගැහැණු ළමයින්ගෙන් ලැබුණු ආදරය අදටත් මතක් කරන්නේ හරිම සතුටින්. ශිවකාර්තිකේයන්ගේ දැඩි රසිකාවක් වන ඇයට, ‘අමරන්’ චිත්‍රපටයේ වැඩ අතරතුර ඔහුව මුණගැහෙන්න ලැබුණු විනාඩි පහක අවස්ථාව විශ්වාස කරන්න බැරිව මගහැරී යාම ගැන ඇයට තියෙන්නේ පුංචි පසුතැවීමක්. කිසිදු නරක වැඩකට හෝ ජාවාරමකට නැතුව, තමන්ගේ සහෝදරයන්ට මාළු අල්ලා දෙනවාට වඩා මාළු අල්ලන හැටි කියාදෙන දර්ශනයක් අනුගමනය කරමින් ස්වයං උත්සාහයෙන් නැගී සිටි සචිනිගේ මේ ගමන අද ජීවිතය දිනන්න හදන හැමෝටම ලොකු පාඩමක්!












