ජීවිතයේ විඳින්න වෙන ලොකුම වේදනාව තමයි තමන්ගේම දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්න සිදුවීම. හර්ෂ ධනෝශ් ‘මව්රට’ හාර්ට් අතිරේකය සමඟ කළ සාකච්ඡාවකදී සිය ජීවිතයේ දැඩිම අසාධාරණය සහ හැඟීම්බර අදහස් පවසා තිබුණා. දරුවන්ගෙන් තමන්ව වෙන් කිරීම ජීවිතයට දැඩි බලපෑමක් කළ බව පවසන ඔහු, ඒ වෙනුවෙන් කිසිවකුටත් චෝදනා කිරීමට හෝ පළිගැනීමට සූදානම් නැති බවයි සඳහන් කරන්නේ. කර්මය දැඩි ලෙස විශ්වාස කරන හර්ෂ, කවදා හෝ දවසක තමන්ටත් නිසි යුක්තිය ඉෂ්ට වන තුරු ඉවසීමෙන් බලා සිටින බව පවසනවා.
බාහිර ලෝකයට කොතරම් ශක්තිමත්ව පෙනී සිටියත්, දරුවන් ළඟ නැතිකම ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් දැඩි ලෙස රිදවන කාරණයක්. පුතාලා දෙදෙනා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා සූදානම් බවත්, අද තමා මේ තත්ත්වයෙන් හෝ ජීවත් වන්නේ ඒ දරුවන් නිසාම පමණක් බවත් ඔහු පවසනවා. තම පුතුන් වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් නිසි කලට නිවැරදිව ඉටු කරන බවට ඔහු දැඩි විශ්වාසයකින් යුතුව අදහස් දක්වා තිබෙනවා.












