වීර පුරන් අප්පුට දඬුවම් දෙන්නත් කලින් පවුම් 100යට ඔත්තු දුන්නු අයට සුද්දා දඬුවම් කරේ ඇයි කියලා දන්නවද ?

වීර පුරන් අප්පුට දඬුවම් දෙන්නත් කලින් පවුම් 100යට ඔත්තු දුන්නු අයට සුද්දා දඬුවම් කරේ ඇයි කියලා දන්නවද ?

වීරපුරන් අප්පුට දඬුවම් දිමට පෙර පවුම් 100 යට ඔත්තු දුන් අයට සුද්දා පළමුව දඬුවම් කලේ ඇයි?

පුරන්අප්පු වීරයෙකු සේ බැබළෙමින් සිටියේ නැත. ඔහු වීරයකු සේ වැඩකළ මිනිසෙකි. පොඩි මිනිහාට අසාධාරණකම් කරන ලොකු මිනිසුන්ට වෛර කළ පුරන්අප්පු, වරක්‌ ඩෝසන් නමැති සුදු නඩුකාරයාගේ නිවස මංකොල්ල කෑවේය. එසේ කළේ දුප්පත් මිනිසෙකුගේ නඩු විභාගය සුදු නඩුකාරයා හරිහැටි නොකිරීම නිසාය. මංකොල්ලකෑ කිසිවක්‌ම පුරන්අප්පු තමන් සතු කරගත්තේ නැත. ඔහු කොල්ලකෑ සියල්ල බෙදා දුන්නේ දුප්පතුන්ටය. එහෙත් ඉංග්‍රීසින්ට මේ ශ්‍රී ලංකා රොබින්හුඩ් මහත් හිසරදයක්‌ විය. ඉංග්‍රීසිහු පුරන්අප්පු අල්ලා හිරේ දැම්මාහ. පුරන්අප්පු යකඩ කූරු ගලවාගෙන හිරෙන් පැන ගියේය. යළිත් හිරගත කෙරිණි. හේ යළිත් පැන්නේය. ඉනික්‌බිති ඉංග්‍රීසින්ට පුරන්අප්පු අල්ලාගත නොහැකි විය. මිනිස්‌සු පුරන්අප්පු පාවා නුදුන්හ.

ඉංග්‍රීසින්ට දාමරිකයකු වුවද සිංහල පොදු ජනයාට පුරන්අප්පු වීරයෙක්‌ විය. 1846 වර්ෂය ඉංග්‍රීසින්ට අපල කාලයක්‌ විය. කෝපි වගාවට සෑදුණු වසංගත රෝගයක්‌ හේතුවෙන් ඉංග්‍රීසි රජයේ ආදායම ශීඝ්‍රයෙන් පහළ වැටෙන්නට විය. රටේ ආර්ථිකය පවත්වාගෙන යැමට ඉංග්‍රීසීහු විවිධාකාර බදු පනවන්නට වූහ. සාප්පු, බෝට්‌ටු සහ කරත්ත ව්‍යාපාර කරගෙන යන අයගෙන් වසරකට පවුම් 1 ක බද්දක්‌ද, තුවක්‌කුවක්‌ සඳහා සිලිම් 1 1/2 ක බද්දක්‌ද, බල්ලෙක්‌ සිටී නම් සිලිමක බද්දක්‌ද රජයට ගෙවන ලෙස නියම කරන ලදී.

මේ බදු අතරින් ඉතාම පීඩාකාරී බද්ද වූයේ ඇඟ බද්දයි. පවුලක පිරිමියා විසින් ඇඟ බද්ද යනුවෙන් සිලිම් 3 ක බද්දක්‌ රජයට ගෙවිය යුතු විය. දුප්පත් ගැමි ජනතාවට සිලිම් තුනක්‌ සොයා ගැනීම ඉතා අපහසු කරුණක්‌ විය. සිලිම් 3 ක ඇඟ බද්ද නොගෙවන්නේ නම් දින 6 ක්‌ පාරේ වැඩ කළ යුතු විය.

ජනතාව හෙම්බත් කළ මේ බදු නිසා ජනතා විරෝධය බුර බුරා ඇවිලෙමින් තිබුණි. ඊට නායකත්වය දුන් නායකයන් අතර කැපී පෙණුනු නායකයා පුරන්අප්පුය.

බදු වලින් මිරිකෙමින් සිටි දුගී ජනයා පුරන්අප්පු වටා රොක්‌ වන්නට වූහ. මේ වන විට ඔහු සිටියේ මාතලේය. කරෝ අප්පු සහ දීනිස්‌ නමින් ඔහුට විශ්වාසවන්ත එමෙන්ම නිර්භීත සගයන් දෙදෙනෙක්‌ද විය. ඒ දෙදෙනාද එකතු කරගත් පුරන්අප්පු ජනයා රැස්‌ කරගෙන මාතලේ අවට සුද්දන්ට අයිතිව තිබූ කෝපි වතු ගිනි තබන්නට විය.

මාතලේ බැප්ටිස්‌ට්‌ පල්ලියට බරපතල හානි සිදුකළ පුරන්අප්පු මාතලේ හිරගෙදර කඩා සිරකරුවන් එළියට ගත්තේය. සුද්දන්ගේ තානායමට, නිල නිවාසවලට පහර දෙද්දී සුද්දොa පළාගියහ. අන්තිමේදී සුද්දන්ගෙන් හිස්‌වූ මාතලේ නගරයේ නායකයා වූයේ පුරන්අප්පුය.

මාතලේ ඉංග්‍රීසි කඳවුර භාරව සිටි කපිතාන් වොට්‌සන් සිය සේනාංකයද කැටිව මහනුවරට පසු බැස්‌සේ අතිශයින් ලැඡ්ජා සිතිනි. පුරන්අප්පු පසුවූයේ ජයග්‍රාහී සිතිනි. ඔහු සිටියේ සුද්දාට දිගටම පහර දෙන්නේ කෙසේදැයි කල්නා කරමිනි. ආරක්‍ෂිත ස්‌ථානයක්‌ වශයෙන් රැය ගත කිරීමට ඔහු තෝරා ගත්තේ වාරියපොළ තැනකි.

රාත්‍රිය එළැඹෙත්ම ඔහුගේ සටන් සගයෝ ඔහු වටා වාඩිලාගෙන සාමීචියේ යෙදී සිටියහ. ඒ අතර බැද්දගේ අල්විස්‌ සහ හේවා හකුරු සමඟ තත් හත්දෙනකුද මේ ආරක්‌ෂිත ස්‌ථානයේ වාඩිලාගෙන සිටියහ. ඒ පිරිස පුරන්අප්පු සමඟ දැන හැඳුනුම්කම් ඇති අය බැවින් සැකයක්‌ නොවීය.

බොහෝ රෑ බෝවීමෙන් අනතුරුව පුරන්අප්පු සගයන්ගෙන් වෙන්වී වෙනත් ආරක්‌ෂිත ගල් ලෙනකට ගියේ නිදාගනු පිණිසය. බැද්දගේ අල්විස්‌ පුරන්අප්පු යන පාර දෙස හොඳින් බලා සිටියේය.

කළුවරෙහි මේ නොපෙනී යන්නේ අල්ලා දුනහොත් පවුම් 100 ක්‌ ගත හැකි වටිනා මිනිසෙකි.

බැද්දගේ අල්විස්‌ නිදා ගත්තේ නැත. එළිවන පැයේදී තමා සමඟ පැමිණි සෙසු සත්දෙනා සමඟ හෙමි හෙමින් පුරන්අප්පු නිදා සිටි ගල් ගුහාවට ළංවූහ. පුරන්අප්පු තවමත් නින්දේය.

එක පොදියට පැනගත් පිරිස සෙලවෙන්නට වත් ඉඩක්‌ නොතබා පුරන්අප්පු අල්ලා ගත්හ. වැල්පොටවල්වලින් තදකොට බැන්දාහ.

මහනුවරට පළාගොස්‌ සිටි කැප්ටන් වොට්‌සන් මේ ආරංචියෙන් උඩ පනිමින් සිනාසුණේය. නවදෙනාගේ කල්ලිය පුරන්අප්පු මහනුවරට ගෙන ආවේ පවුම් සීයේ අති විශාල ත්‍යාගය පිළිබඳ සිහින මවමිනි.

එහෙත් සිදුවූයේ අනිකකි.

“මුං මුන්ගෙ නායකයා පාවා දුන්නා නම් කොයි වෙලාවක හරි අපිවත් පාවාදෙයි. එසේ කී මහනුවර පාලක සුද්දා බැද්දගේ අල්විස්‌ හා හේවා හකුරු දෙදෙනා ද හිර භාරයට ගන්නා ලෙස නියම කළේය

පාවා දෙන්නන්ට ලැබුණු ත්‍යාගය එපමණකි.

පුරන්අප්පුට එරෙහි නඩු විභාගය ඉතා කෙටි එකක්‌ විය. සුද්දන්ට වුවමනා වී තිබුණේ නඩු විභාග කරන්නට නොව ඉක්‌මනින් පුරන්අප්පු ඉවරයක්‌ කර දමන්නටය.

“නුඹලා පුරන්අප්පුට යුද්දෙදි උදව් කරල තියෙනවා. එ aවරදට දඬුවම උඹලා දෙන්නා අවුරුදු දාහතරකට රටින් පිටුවහල්….”

යුද්ධාධිකරණ ලොක්‌කා මේජර් ඇµa. ලුෂින්ටන් පළමුවර දඬුවම දුන්නේ පවුම් 100 කට පුරන්අප්පු අල්ලා දුන් බැද්දගේ අල්විස්‌ට සහ හේවා හකුරුගේටය.

ඊළඟට ලුෂින්ටන් හැරුණේ පුරන්අප්පු දෙසටය.

“උඹට අවසන් වතාවට යමක්‌ කියන්න තියෙනවද…”

“මගේ අම්මා මං වගේ තව දහදෙනෙක්‌ වැදුවා නම් මේ රටේ එක බිම් අඟලක්‌ අයිති කරගන්න පර සුද්දන්ට ඉඩ තියන්නෙ නෑ…”

පුරන්අප්පු එසේ කියනවාත් සමඟම “මූට වෙඩි තියාපල්ලා” යෑයි යුද්ධාධිකරණ නායකයා කෑගෑවේය.

වහාම වෙඩි තැබිණි. පුරන්අප්පු දළදා මාළිගාව දෙසට හැරී දෝත් මුදුන් දී වැඳගෙන මැරී වැටුණේය.

වයස අවුරුදු 36 සපිරෙද්දී ශ්‍රී ලංකාවේ නිදහස පතා සටන් කළ වීරයෙකුගේ අවසානය එසේ සිදුවිය.

ඉංග්‍රීසින් තුළ මේ තරුණ වීරයා කෙරෙහි ගෞරවයක්‌ තිබුණි. ඉංග්‍රීසීන්ගේ මාතලේ සුසාන භූමිය පිහිටුවා තිබුණේ මැක්‌ඩෝවල් බලකොටුව තුළය. එහි ඔහු සමඟ වෙඩි තබා ඝාතනය කළ එකොළොස්‌ දෙනකුගේ මළසිරුරු පේළියට තැන්පත්කොට ඒවා මතුපිට කෙටි ගල්කණු සිහිවටන වශයෙන් තබන්නට තරම් ඉංග්‍රීසිහු කාරුණික වී ඇත. එම ගල්කණු පේළියේ තුන්වැනි ගල තබා ඇත්තේ පුරන්අප්පුගේ සොහොන මතය. අදටත් aමාතලේ සුසාන භූමියේ පුරන්අප්පු සොහොන දැකිය හැක.

අනිත් යුතුකම ඉෂ්ට කොට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගය අසබඩ වාරියපොළ නම් කුඩා ගම්මාන සීමාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරන්අප්පු ස්‌මාරකයක්‌ පිහිටුවා තිබේ. මෙම ස්‌මාරකය පිහිටුවා ඇත්තේ පුරන්අප්පු පවුම් 100 කට ගිජුව ඔහුව අල්ලා දුන් ස්‌ථානයේ බව සැළකේ.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
Indu Abenayake
_______________________
,
උපුටා ගැනීමක්.

Uncategorized