අදට අවුරුදු 33ක්… අදටත් ඒ මතකය හද පාරනවා. රටක්ම කම්පා වූ දවසක්… අගෝස්තු 8 වීරයෙක් ඉතිහාසයේ රන් අකුරින් ලියවූ දවසක්…!

අදට අවුරුදු 33ක්… අදටත් ඒ මතකය හද පාරනවා. රටක්ම කම්පා වූ දවසක්… අගෝස්තු 8 වීරයෙක් ඉතිහාසයේ රන් අකුරින් ලියවූ දවසක්…!

~~ අගෝස්තු 08 කලු පැල්ලම ~~

2009 වසරේ මැයි මාසයේ දී අපගේ ත්‍රිවිධ හමුදාවන් 30 වසරක් පුරා පැවති කුරිරු යුද්ධය නිමා කරනු ලැබුවා. එම වසර 30 පුරාවට මව්බිමේ නිදහස දිනාගැනීම වෙනුවෙන් රණවිරුවන් රැසක් සිය ජීවිතය පූජා කළා. ඒ වීරෝදාර රණවිරුවන් අතුරින් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් සෙන්පතියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මීට වසර 28කට පමණ පෙර අරාලි තුඩුවේ දී සිදුවුණු බෝම්බ පිපිරීමක් නිසා අභාවයට පත්වුණු එතුමා මෙරට යුද්ධ හමුදා ඉතිහාසය තුළ බිහි වුණු දක්ෂතම නිලධාරීන් අතුරින් කෙනෙක්. එම නිසා කොබ්බෑකඩුව රණවිරුවා යුධ බිමේ දී පෑ හපන්කම් ගැන අදටත් බොහෝ දෙනෙකු කතා කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.

1940 වසරේ ජූලි 27 වැනිදා මහනුවර ගුන්නෑපාන පමුණුගම වලව්වේ දරු උපතක් සිදුවුණා. එදින දෙල්දෙණියේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිළමේතුමාට සහ අයෝනා රත්වත්තේ මැතිණියට දාව උපන් පිරිමි දරුවාට ‘ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව’ යන නම තබනු ලැබුවා. කුඩාකල සිය මාපියන්ගේ තුරුලේ හැදී වැඩුණු ඩෙන්සිල් ළදරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවේ ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා යි. පාසල් සමයේ අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද එක සේ හපන්කම් පෑ ඩෙන්සිල් කොබ්බෑකඩුව සිසුවා පාසලේ රග්බි, ක්‍රිකට්, සහ හොකී යන කණ්ඩායම්වල සාමාජිකයෙකු වූවා. කුඩාකල සිටම මනා හික්මීමකින් යුතු ක්‍රියාශීලි සිසුවෙකු වුණු ඔහු, පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව සිය ජීවන වෘත්තිය ලෙසින් තෝරාගනු ලැබුවේ ආරක්ෂක අංශය යි.

1960 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙසින් යුද්ධ හමුදාවට එකතු වුණු ඩෙන්සිල් කොබ්බෑකඩුව තරුණයා දියතලාව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් මූලික පුහුණුව ලැබුවා. ඉන් අනතුරුව වැඩිදුර පුහුණුව සඳහා මහා බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා ඇකඩමියට යාමට වරම් හිමිකරගත් ඩෙන්සිල් කොබ්බෑකඩුව යළි ලංකාවට පැමිණියේ 1962 වසරේ දී යි. විදෙස් රටක දී මනා පුහුණුවක් ලැබීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙසින් උසස් වීමක් ලබාගත් ඩෙන්සිල් තරුණයා මුලින්ම සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට යි.

ඩෙන්සිල් කොබ්බෑකඩුව යන නම ඇසුණු සැනින් කාගේත් මතකයට එන්නේ ‘ඔපරේෂන් ලිබරේෂන්’ හෙවත් 1987 වඩමාරච්චි සටන යි. එම ක්‍රියාන්විතයේ දී වන්නි බලසේනාවට අණ දුන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව යි. එදා ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර හමුවේ අන්ත අසරණ වුණු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදීන්ව ඉන්දීය රජය විසින් බේරාගනු ලැබුණා. එදා ඉන්දීය රජය, ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් සිදු කළ බලපෑම නිසා මෙහෙයුම අතරමඟ නැවැත්වීමට සිදුවුණේ අවාසනාවන්ත අයුරිණි.
වඩමාරච්චි සටනින් පසුව කොබ්බෑකඩුව විරුවාගේ නම කියවුණු ප්‍රධානම සටනක් වුණේ ‘ක්ලීන් ස්වීප්’ නම් ක්‍රියාන්විතය යි. 1990 වසරේ දී ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණා. එම සාම සාකච්ඡා අතරතුර හිතුවක්කාරී ලෙස ක්‍රියා කළ කොටි ත්‍රස්තවාදීන් නැගෙනහිර පළා‍තේ පොලීසිවලට පහර දී එම ප්‍රදේශයෙහි බලය අල්ලා ගත්තා. එහි දී ඔවුන් පොලිස් නිලධාරින් 600ක් අමු අමුවේ මරා දමනු ලැබුවා. එදා නැගෙනහිර අහිමි වුණු බලය යළි අල්ලා ගැනීමේ වගකීම පැවරුණේ කොබ්බෑකඩුවට යි. නැගෙනහිර සටන් බිම කොටස් හතරකට බෙදමින් මනාව සැලසුම් කළ ක්‍රියාන්විතය සාර්ථකව අවසන් කිරීමට හැකි වුණේ නැගෙනහිර කොටි ත්‍රස්තයන්ගේ බලය බිඳ දමමිනි. රණශූරත්වය තුළින් සතුරාව මවිත කළ කොබ්බෑකඩුව නම් සෙන්පතියා 1991 වසරේ දී අලිමංකඩ මුදා ගැනීම සඳහා සිදු කළ ‘බලවේගය’ නම් ක්‍රියාන්විතය සඳහා ද විශිෂ්ට නායකත්වයක් ලබාදුන්නා. එම නිසාම කඳවුර යළි අත්පත් කරගැනීමට අපගේ හමුදාවන්ට හැකි වුණා.

1992 වසරේ අගෝස්තු මාසය වන විට ‘ෆයිනල් කවුන්ට්ඩවුන්’ නම් දැවැන්ත ක්‍රියාන්විතය සඳහා කොබ්බෑකඩුව ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් පිඹුරුපත් සකස් කරමින් සිටියා. 1992 වසරේ අගෝස්තු 8 වැනිදා කොබ්බෑකඩුව ඇතුළු නිලධාරින් පිරිසක් යාපනයේ අරාලි තුඩුවට ගියේ රහස් සාකච්ඡාවක් සඳහා යි. එම සාකච්ඡාව අවසන් වී පැමිණෙන ගමනේ දී ඔවුන් ගමන් කළ ජීප් රථය බිම් බෝම්බයකට හසු වුණා. තුවාල ලැබූ කොබ්බෑකඩුව විරුවාව හෙලිකොප්ටරයකින් ගෙනගොස් පලාලි රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු එහි මූලික ප්‍රතිකාර ලබන අතරතුර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් වෙමින් සිටියා. නමුත් එදා ඔහුව කොළඹට රැගෙන යමින් සිටි හෙලිකොප්ටරය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අහසේ කරණම් ගසා අවසානයේ දී ගියේ කොළඹ ජාතික රෝහල වෙතට යි. විශාල ප්‍රමාදයකින් පසුව රෝහල්ගත කළ කොබ්බෑකඩුව විරුවාව බේරාගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වුණත් එය සාර්ථක වුණේ නැහැ. අවසානයේ මුළු රටක් හඬවමින් කොබ්බෑකඩුව වීරයා සදහටම දෙනෙත් පියාගත්තා.

ලබා ඇති පදක්කම් :-
රණ වික්‍රම පදක්කම
රණ ශූර පදක්කම
විශිෂ්ට සේවාවිභුෂණය
උත්තම සේවා පදක්කම

( වීරයන් කිසි දිනක මිය ගියේ නැත…මිය යන්නේද නැත…ඔවුන්ගේ නාමයන් රන් අකුරින් ඉතිහාසයේ ලියවෙන්නේය… )

Local Gossip