දවස් 22ක් තිස්සේ කිලෝමීටර් 72ක්… බළලෙක් ඒ වගේ දුරක් ගියා කියන්නෙ පුදුමයි” – පොලිසියට පෙම් බැඳි “පූසා ටුටූ” ගැන ඇහෙන කතාව…

දවස් 22ක් තිස්සේ කිලෝමීටර් 72ක්… බළලෙක් ඒ වගේ දුරක් ගියා කියන්නෙ පුදුමයි” – පොලිසියට පෙම් බැඳි “පූසා ටුටූ” ගැන ඇහෙන කතාව…

 

ටුටූ කුඩා කල සිට හැදුණේ වැඩුණේ පොලිසියේය. රිදීගම පොලිසියේ සේවයේ නියුතු කිසිවකුගෙන් ටුටූ ට කරදරයක් නොවූයේ ටුටූ පොලිසියේ ලොකු මහත්තයා විසින් හදා වඩා ගත් පූස් පැටවකු වූ නිසාය.

ලොකු මහත්තයා සහ නෝනා සිටි නිල නිවෙස ටුටූගේ නිවහන විය. ඒත් පොලිසියේ ඕනෑම තැනක සැරි සැරීමේ අයිතියද ටුටූට විය. තනිවම පොලිසියට අවුත් ලොකු මහත්තයා වශී කර ගත් ටුටූ ට අනෙක් පොලිස් නිලදරුවන්ගේ නිල ඇඳුමට, බැටන් පොල්ලට හෝ සැර කට හඬට බිය වීමට කිසිඳු හේතුවක් නොවීය.

ඒ නිසා පොලිසිය තුළ රාජකාරියේ යෙදුණු කාගේත් හුරතලයට ලක්වෙමින් වසර දෙකක් පමණ කාලයක් රිදීගම පොලිසියේම සිටි ටුටූට ඉකුත් ජූලි මාසයේ සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමටයි. ජූලි මස මුල් සතියේ පොලිස් ස්ථානාධිපති නිවෙසේ මහත් කලබලයකි. නිවෙසේ තිබූ බඩු බාහිරාදිය වාහනවලට පැටවිණි. අවසානයේ ටුටූව ද ප්ලාස්ටික් කූඩයක බහාලන ලදී. පැය කිහිපයක ගමනකින් පසු ටුටූ සිටියේ නොදන්නා තැනකය. ටිකක් විපරම් කරන විට පොලිසියේ ලොකු මහත්තයාගේ ගෙදර සිටි ලස්සන බව් අම්මාද ටුටූගේ අලුත් නවාතැනේදී දැකගන්නට ලැබීම ටුටූගේ පුංචි හිතට ගෙන දුන්නේ අස්වැසිල්ලකි.

ඒ මොනවා වුණත් අලුත් තැන ටුටූගෙ හිතට ඇල්ලුවේම නැත. ටුටූට හැම තිස්සේම මතකයට ආවේ රිදීගම පොලිසියයි. එහි තිබූ කෑ කෝ ගැසීම්, සිනා හඬවල් දැන් ඇසෙන්නේ නැත. හිටපු තැන ගැන කල්පනා කරන ටුටූගේ පුංචි හිතට කොහේදෝ දුර ඈත තියෙන රිදීගම පොලිසිය මේ ළඟක තියෙන්නා සේ දැනෙයි. ටුටූ ඒ දැනීම ඔස්සේ යෑමට පෙලඹුණේය.

ටුටූට ඒ ගැන වැටහීමක් නොවූවාට ටුටූගේ ස්ථාන මාරුව සිදු කර තිබුණේ යහපත් චේතනාවෙනි. ටුටූව හදාවඩා ගත් රිදීගම හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක හේමන්ත සුබසිංහ මහතාට ස්ථාන මාරුවක් ලැබීම මීට හේතුවයි. ස්ථාන මාරුව ලැබී තිබුණේ රිදීගම පොලිසියෙන් මන්නාරමටයි. රාජකාරිය පිණිස මන්නාරමට යෑමට පෙර සුබසිංහ මහතා රිදීගම නිල නිවෙසේ තිබූ තම බඩු බාහිරාදිය තම ගම වන මාවනැල්ලේ හෙම්මාතගම පිහිටි නිවෙසට ඇද්දේය. ඒ සමඟම තමා විසින් හදාවඩා ගත් ටුටූව ද තම ගමේ පිහිටි නිවෙසට ගෙන ආවේ මහත් වූ සෙනෙහස නිසාවෙනි.

ටුටූ පිරිමි සතෙකි. ටුටූ කොල්ලා ඇවිදින්නට යන්න ඇතැයි සිතූ නිවෙසේ අය දිනක් දෙකක් බලා සිටියහ. නැවත ටුටූ නිවෙසට නොපැමිණි හෙයින් අහල පහළ සොයා බැලූහ. ඒත් ටුටූ ගැන විස්තරයක් දන්නා කෙනකුද නොවීය.

“අපි ටුටූ ගැන කිසිම විස්තරයක් නැතිව ඉන්දෙද්දී පහුගිය 27 වැනිදා රෑ රිදීගමින් කෝල් එකක් ආවා.ඒ කෝල් එක දුන්නේ නිල නිවෙසේ වැඩ කළ විජේරත්නයි. එයා කිව්වා ටුටූ ආයෙ රිදීගම පොලිසියට ඇවිත් ඉන්නවා කියලා. මං පුදුම වුණා. විජේරත්නට ටුටූ හොඳට පුරුදුයි. එයාට කන්න බොන්නත් දෙනවා. ඒ නිසා වෙන්න ඇති විජේරත්න ළඟටම ගිහින් තියෙන්නේ. විජේරත්න කිව්වා එයාගේ කකුල ළඟට ඇවිත් කකුලේ ඇතිල්ලිලා ඤාව්, ඤාව් කියලා ඇඬුවා කියලා. ඒ ගමන්ම විජේරත්න මට කෝල් කළා. ටුටූ ඇවිත් කියලා ෆොටෝස් එව්වා.ඒ ටුටූම තමයි” ටුටූ හදා වඩා ගත් රිදීගම හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ මහතා අප සමඟ පැවසීය.

“අපි හිතුවෙ ටුටූ පිරිමි පූසෙක් නිසා ඇවිදින්න ගිහින් අලුත් පැත්ත පුරුදු නැති නිසා කොහේ හරි අතරමං වෙලා කියලයි. ඒත් මෙයා ආපහු හිටපු තැනටම ගිහින්”

“බලනකොට දවස් 22ක් තිස්සේ එයා ඇවිදලා. හෙම්මාතගම ඉඳලා ආපහු රිදීගමට යනකොට මාවනැල්ල, රඹුක්කන, මාවතගම කියන විශාල නගර තුනත් පහු කරන් යන්න ඕනේ. මුළු දුර කිලෝමීටර් 72ක්. බළලෙක් ඒ වගේ දුරක් ගියා කියන්නෙ පුදුමයි”ටුටූ ආදරය කරන පූසියෙක් වත් පොලිසියෙ ඉන්නවාදැයි සිතුණු නිසා අපි හේමන්ත මහතාගෙන් විමසා සිටියේ තවත් බළලුන් පොලිසියේ සිටිනවාද යන්නයි.

හේමන්ත මහතාට අනුව පොලිසියේ වෙනත් බළලුන් නැත.

“ටුටූ ට ඉන්න හොඳම යාළුවා තමයි මගේ ෂිට්සු බව්වා. එයාගෙ නම ටෙඩී. ඒ දෙන්නා හරි ආදරෙයි. එයාට පැටව් හම්බවුණු වෙලේ පැටව් දෙන්නට වඩා කිරි බොන්න දුන්නේ ටුටූටයි. ටුටූ පැටියා කාලේ ඒ බව් අම්මගෙන් කිරි බිව්වා. බව් අම්මා කෑම කන්නේ ටුටූ ට කෑම දුන්නට පස්සෙයි. එච්චර යාළු ටෙඩී යාළුවත් දාලයි ඔය ටුටූ ආයෙමත් පොලිසියට ගිහින් තියෙන්නේ”
“දැන් ඉතිං මොකද කරන්නේ, ටුටූව ආයෙත් හෙම්මාතගම ගෙදරට අරන් එනවාද?” අපි විමසීමු.

“අපි එහෙම ගෙනාවොත් ඒක එයාට හිරිහැරයක් වෙයි. එහෙ ඉන්න එක එයාගෙ කැමැත්ත කියලා දැන් පේනවනේ.එහෙම ඉන්න දෙනවා. අපි ඉඳහිට ගිහින් බලලා එනවා” යැයි හේමන්ත මහතා කිව්වේ ටුටූගේ කැමැත්තට ඔහුද ගරුකරන බව පෙන්වමිනි.

දින 22ක් තිස්සේ කිලෝමීටර් 72ක් මඟ ගෙවමින් තමන් හැදී වැඩුණු කුඩා කල මතක පිරුණු පොලිස් ස්ථානය කරා වීර චාරිකාවක යෙදුණු ටුටූ අද සමාජ මාධ්‍ය ජාලා තුළ තරුවක් වී හමාරය.

ටූටූ නම් මේ පූස් තරුව දැන් පෙර මෙන්ම සුවයෙන් පසුවන බව රිදීගම පොලිසියේ සැරයන් (52621) ජයසිංහ මහතා අප සමඟ පැවසීය.

අපගේ කැමරාවට හසුව ඇති ඡායාරූපයෙන් දිස්වන්නේ රිදීගම පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක වන ඩිල්ෂාරා (9681) තරුවක් බවට පත්ව සිටින ටුටූ වඩාගෙන සුරතල් කරන අන්දමයි.

“දැන් එයා හැමෝම එක්ක හුරතල් වෙමින් ඉන්නවා. එනකොට පොඩ්ඩක් කෙට්ටු වෙලා හිටියා. අපි කඩෙන් පූස් කෑම පැකට් ගෙනැත් කන්න දුන්නා. අපි කන විදිහට බතුත් දෙනවා. අපේ මෙස් එකේ තමයි දැන් ඉන්නේ. ටුටූ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ළඟට වෙලත් හුරතල් වෙනවා” යැයි ජයසිංහ මහතා පැවසීය.

ඇමරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල පොලිසි සතුන් කෙරෙහි ළෙන්ගතුකම් පාන කතා වාර්තා වුණද ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන තුළින් එවැනි කතා වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. කාකි නිල ඇඳුම්වලට යටින් ඇත්තේද මනුස්ස රුධිරය ගලන ආදරය හඳුනන හදවත් බව සමාජයේ ජීවත්වන ප්‍රජාව හඳුනාගන්නේ මෙබඳු සංවේදී කතා තුළිනි.

දෙව්මිණි තිරාණගම
උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Local Gossip