අපේ අත්වල නොයෙක් රේඛා තියෙනවා.. ඉතින් මෙන්න මේ රේඛාවලින් ජිවිතේ බොහෝ රහස් හෙළිවන බව දන්නවද ? ඉතිං අද කතා කරන්නේ අන්න ඒ ගැනයි..
පහළ තියෙන පින්තුරේ බැලුවොත් ඒ රේඛා ඔයාට අදුරගන්න පුළුවන් …
1 ජීවන රේඛාව (A-Aසලකුණු)
මෙය දකුණු අතක නම් ගුරු මණ්ඩලය යටින් ආරම්භ වී සිකුරු මණ්ඩලය වටකරගෙන මණිබද්ධ රේඛා දෙසින් අවසන් වේ. මෙම රේඛාවෙන් කියැවෙන කරුණු බොහෝය. විශේෂයෙන් ශරීර ශක්තිය, නිරෝගීකම, දීර්ඝායුෂ, තම පියාට වැලඳෙන ලෙඩ රෝග පිළිබඳවත් මෙහි පිහිටීමෙන් හඳුනාගත හැකිය. මෙම රේඛාව අතරමඟදී කැඩී පලුදුව ඇත්නම් එම කාලසීමාව තුළදී හදිසි අනතුරු, ලෙඩ රෝග ආදිය වැලඳීමට හේතුවේ. අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් ආමාශය ඇතුළු ඉන්ද්‍රියන් පිළිබඳව මෙමඟින් තොරතුරු, අනාවරණය කරගත හැකිය. රේඛාව තැනින් තැන කැඩීම, සුදුමැලි බවින් යුක්ත වීම විවිධ ලෙඩ රෝගවලට ලක්වීමට හේතුයි. රේඛාව ගැඹුරින් පැහැදිලිව සලකුණු වීම දීර්ඝායුෂ වැළඳීමටත් නිරෝගීමත්ව සිටීමටත් හේතුවේ. දෙඅත්ලේම මෙය රෝස පාටින් යුක්තව පැහැදිලිව පිහිටීමෙන් අත්ල හිමියා යහපත් ගතිගුණවලින් හෙබි යහපත් පුද්ගලයකු බව කියාපායි.
2 ශීර්ෂ රේඛාව (B-B සලකුණු)
මෙයින් අත්ල හිමියාගේ මොළය, ස්නායු, ඥාන ශක්තිය, සිහිකල්පනාව ආදී තොරතුරු පිළිබඳව කියැවෙයි. මෙහි සියුම් ශාඛා කිහිපයකින් යුක්ත වීමෙන් පුද්ගලයාට උපන් ඥාන ශක්තියක් හිමිවේ. ඉතා හොඳින් සලකුණු වූ ශීර්ෂ රේඛාව ඇති අය දියුණුවට පත්වේ. ඉගෙනීමට දක්ෂ වේ. මෙම රේඛාව පුරා දූපත් දැල් වැනි අසුබ සලකුණු පිහිටීමෙන් එවැනි අයට හිසේ, මොළයේ ආබාධ ඇති වේ. ඉතා තුනීව කෙටිව තිබීමෙන් මතක ශක්තිය හීන වීමටත් විවිධ මානසික පීඩා ඇති වීමටත් හේතුවේ. ඇතැම් විට ශීර්ෂ රේඛා දෙකක් තිබීමටත් හෘදය රේඛාව සමඟ ඒකාබද්ධව පිහිටීමටත් හේතුවේ. එවිට උදාවන පලාපල විවිධ වේ.
3 හෘදය රේඛාව (C-C සලකුණු)
මෙහි ආරම්භය බුධ මණ්ඩලය යටදී වන අතර එය ගුරු මණ්ඩලය වෙත ගමන් කරන බවත් පෙනේ. ඇතැම් විට ශනි හා ගුරු ඇඟිල්ල අතරින් අවසන් වන බව දක්නට ලැබේ. මෙයද ගැඹුරින් පැහැදිලිව ගුරු මණ්ඩලය වෙත ගමන් කරයි නම් එය සුබයි. එසේ පිහිටීමෙන් පුද්ගලයා ඉතා කාරුණික විශ්වසනීය පුද්ගලයකු කරයි. හෘදය රේඛාව රවි මණ්ඩලය යටදී කැඩීමෙන් හෘද රෝගවලට ලක්වීමට හේතුවේ. ඉතා තුනීව ශනි මණ්ඩලය වෙත ගමන් කර තාරකාවන්ගෙන් අවසන් වේ නම් අවාසනාවන්තයකු වේ. ඉතා තුනීව අඳුරුව තිබීමෙන් ඇදුම ඇතුළු ශ්වසනනාලයේ ආබාධ ඇති වීමට හේතුවේ. දෙඅත්ලේම පැහැදිලිව ගැඹුරින් පිහිටීමෙන් පුද්ගලයා ඉතා දැහැමි යුතුකම් ඉටු කරන පුද්ගලයකු වන බව ප්‍රකාශ වේ.
4 දෛවය හෙවත් උර්ධව රේඛාව (D-D සලකුණු)
සඳු මණ්ඩලයෙන් ජීවන රේඛාවෙන් කුජ මණ්ඩලයෙන්ද ආරම්භ වන අවස්ථා ඇත. මෙමගින් කියැවෙන්නේ කෙනකුට අයත් ධන සම්පත් දේපොළ, යාන වාහන හා රැකී රක්ෂා ආදියත් පිළිබඳවයි. මෙය හොඳින් සලකුණු වූ අයට ජීවත් වීම ප්‍රශ්නයක් නොවේ. එවැනි අයට භෞතික සම්පත් දේපොළ, ඉඩම්, ගෙවල් ආදිය හොඳින් ලැබේ. මෙය නොපිහිටි අය උත්සාහය මත තම දියුණුව ඇතිකරගත යුතුය. එවැනි අයට ආර්ථික හා රැකී රක්ෂා ප්‍රශ්න ඇතිවේ. මෙම රේඛාව වරින් වර කැපීම රැකියා ප්‍රශ්න හා දේපොළ ප්‍රශ්න ඇති වීමට හේතුවේ.
5 රවි හෙවත් සූර්ය රේඛාව (E-E සලකුණු)
මෙය කෙනකුගේ අතක වැටෙන්නේ ඔහුගේ වාසනාවටයි. මෙය අත්ලේ පහළ ප්‍රදේශයෙන් පටන්ගන්නේ නම් ඉතා සුබයි. විවිධ හැකියා දක්ෂතා නිසා මෙම අය සමාජයේ ජනාදරයට පත්වෙනවාමයි. මෙය වරින්වර කැපී පලුදුව පිහිටා ඇත්නම් එවැනි අය සමාජයෙන් විවිධ කෙනෙහිලිකම්වලට අසාධාරණයන්ට ලක්වනවාමයි.
උපුටාගැනීමක්








