තනි රෝදයෙන් වැඩ පෙන්වන්න ගිය සිසුවා, බස් රථයක ගැටී අවසන් ගමන් යයි…

තනි රෝදයෙන් වැඩ පෙන්වන්න ගිය සිසුවා, බස් රථයක ගැටී අවසන් ගමන් යයි…

යතුරුපැදියකින් යමින් සිටි බණ්ඩාරගම ජාතික පාසලේ සිසුවකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටී අද (22) මියගිය බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ පදිංචි බණ්ඩාරගම ජාතික පාසලේ ශිෂ්‍යභට කෝප්‍රල්වරයකු හා නැටුම් කණ්ඩායමේ මෙන්ම පාසලේ විවිධ අංශ නියෝජනය කරමින් ක්‍රියාකාරී මෙන්ම දීප්තිමත් සිසුවෙකු ලෙස කටයුතු කළ විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ලෝචන ලුක්ෂාන් නමැති 17 හැවිරිදි සිසුවායි.

අනතුරින් මියගිය සිසුවා අද (22) මිතුරකු සමඟ යතුරුපැදි දෙකකින් බණ්ඩාරගම කොතලාවල උයන්වත්ත වැව මාර්ගයේ ගොස් තිබූ බව මිතුරාගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

එසේ යන අතුරුදී මියගිය සිසුවා තනි රෝදයෙන් යතුරුපැදියෙන් ගමන් කර ඇති බවට එම ප්‍රකාශයෙන්ද වැඩිදුරටත් අනාවරණය වී තිබුණා.

අනතුරුව නැවත බණ්ඩාරගම හොරණ ප්‍රධාන මාර්ගයට පැමිණීමේදී මිය ගිය සිසුවා වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර එලෙස ධාවනය නොකරන ලෙස මිතුරා ඔහුට පවසා ඇති අතර එය ගණන් නොගත් මියගිය සිසුවා යතුරුපැදිය වේගයෙන් පැදවීමේදී ලිස්සා ගොස් පානදුර සිට හොරට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පිටුපස පාපූරුවේ ගැටී අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලද සිසුවා, බණ්ඩාරගම දිසාරෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාර ලබා දී හොරණ මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

පානදුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකරගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිම්න ජයසුන්දර, පොලිස් සැරයන් 37199 සම්පත් යන නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා.

Local Gossip