Home දේශිය පුවත් රෝද පුටුවක හිඳ තම දරුවාගේ ‘ෆස්ට් ක්ලාස්’ උපාධිය දෙස ආඩම්බරයෙන් බලා සිටින,ආබාධිත...

රෝද පුටුවක හිඳ තම දරුවාගේ ‘ෆස්ට් ක්ලාස්’ උපාධිය දෙස ආඩම්බරයෙන් බලා සිටින,ආබාධිත තත්ත්වයට පත් වුවත් දරුවගේ සිහිනවලට ශක්තිය දුන් ගුරු පියෙකුගේ දෑස් කඳුළින් තෙත් කරන කතාව…

0
7

 

සාමාන්‍යයෙන් දෙමව්පියන් තමන්ගේ දරුවන්ට නිතරම කියන්නේ “පාඩම් කරන්න, ඩොක්ටර් කෙනෙක් වෙන්න” කියලයි. ඒත් 2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවුණු අවාසනාවන්ත අනතුරකින් පසුව පූර්ණ කාලීන ආබාධ සහිත පුද්ගලයෙකු බවට පත්වුණු මේ ආදරණීය තාත්තා, තමන්ගේ ශාරීරික අපහසුතා මැද වුණත් පුතුගේ ජීවිතය වෙනස්ම මාවතකින් ජයග්‍රහණය කරවන්න තරම් ශක්තිමත් වුණා.

අද උපාධි ප්‍රදානෝත්සවයේදී ඔහු රෝද පුටුවක ඉන්නවා දැකලා, ඔහුගෙන් අකුරු කළ දහස් සංඛ්‍යාත ගෝල පරම්පරාව වගේම හිතවතුන් බොහෝ දෙනෙක් කනස්සල්ලෙන් විස්තර අහලා තිබුණා. ඒ හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න අපහසු නිසාම, තමන්ගේ ආදරණීය තාත්තා ගැනත් ඔහුගේ වත්මන් තත්ත්වය ගැනත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් (First Class) සහිතව උපාධිය ලබාගත් චූටි පුතා හදවතට දැනෙන සටහනක් තබා තිබුණා.

මේ පවුලේ පළවෙනි උපාධිධාරියා මේ පුතා නෙවෙයි. ඒ ඔහුගේ තාත්තායි. තාත්තා 1990 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් (Second Class Upper) සහිත ගෞරව උපාධියක් ලබාගත් අයෙක්. පවුලේ දෙවැනි උපාධිධාරියා වුණේ අම්මා. ඒ වගේම තාත්තාගේ වැඩිමහල් දරුවා (ලොකු අක්කා) අද වෛද්‍යවරියක්. (ඇයගේ උපාධි උත්සවය තවමත් පවත්වා නැහැ).

ඒත් මේ චූටි පුතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රාසංගික කලා – සංගීතය පිළිබඳ ගෞරව උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව දිනාගන්නේ, මුළු පරම්පරාවේම පළවෙනි ‘ෆස්ට් ක්ලාස්’ උපාධිය තමන්ගේ තාත්තාගේ දෙපා මුල තබමිනුයි.

පුංචි කාලේ ඉඳන්ම “අරක කරන්න, මේක කරන්න, පාඩම් කරන්න” කියා කිසිම දවසක බල නොකළ මේ තාත්තා, 5 වසරේ ඉඳන් පුතාව සංගීත පන්ති එක්කගෙන ගිහින් 10 වසර වෙද්දී ඔහුව විශාරදවරයෙක් බවට පත් කරන්න තරම් කැපවුණා. පාසලේදී ගුරුවරුන් පවා “සර් මෙයා පන්තියේ නෑ කොයි වෙලාවෙවත්. ප්‍රැක්ටිසස් තියෙනවා කියලා Music room එකට වෙලා පීරියඩ් කට් කර කර ඉන්නවා” කියා පැමිණිලි කරද්දී, “අනේ කමක් නෑ මිස්. එයාට ඕනෙ නම් ඉගෙන ගන්නෙ නැතැයි” කියමින් හිනාවෙලා පුතුගේ නිදහස ආරක්ෂා කළේ මේ තාත්තායි.

සාමාන්‍ය පෙළට 9As ගත්තට පස්සෙත් බයෝ කරලා දොස්තර කෙනෙක් වෙන්න කියලා බල නොකර, පුතාට කැමති කලා අංශයෙන් උසස් පෙළ හදාරන්න ඉඩ දුන්නු ඒ තීරණය අද මේ තරම් ලස්සනට මල්ඵල ගැන්විලා තියෙනවා. 2019 අප්‍රේල් 21 අනතුරින් පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත් වුණත්, අද වෙද්දී තාත්තාට ‘වෝකර්’ (Walker) එකක් ආධාරයෙන් පරිස්සමට ඇවිදින්න පුළුවන් බවත්, ඔහු ඉතාම හොඳින් සුවෙන් ඉන්නා බවත් පුතු තමන්ගේ තාත්තාට ආදරය කරන දහස් සංඛ්‍යාත ගෝල පිරිසට සතුටින් දැනුම් දී තිබෙනවා.

ශරීරයෙන් අපහසුතා තිබුණත්, තමන්ගේ දරුවාගේ හීනවලට පණ දෙන්න තාත්තා කෙනෙකුගේ හිතේ තියෙන ශක්තිය කිසිම අනතුරකට නවත්තන්න බැහැ. 🥹🙏

උපුටා ගැනීම: අදාළ උපාධිධාරී පුතු විසින් තම පියා වෙනුවෙන් තැබූ සංවේදී සමාජ මාධ්‍ය සටහන ඇසුරිනි.

දරුවන්ට තමන් කැමති මාවතක ගිහින් ජීවිතය දිනන්න නිදහස දෙන දෙමව්පියන්, අනාගතයේදී ඒ දරුවන්ගේ ලොකුම ශක්තිය බවට පත්වෙනවා නොඅනුමානයි.

මේ ආදරණීය ගුරු පියාට ඉක්මන් සුවය සහ නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න ඔබත් එකතු වෙනවා නේද? ❤️

Previous article“තාත්තා වෙනුවෙන් කරපු දේවල් වලට මගේ සහෝදරයෝ සම්බන්ධ වුණේ නෑ” – රනිල් මල්ලවාරච්චි කලකිරීමෙන් කියයි!
error: Content is protected !!
Verified by MonsterInsights