2025 වසර අවසන් වෙන්න තියෙන්නේ තව දවස් කිහිපයක් විතරයි. මීට අවුරුදු දෙකකට විතර කලින් පුද්ගලිකව ගත්තොත්, අපි පවුලක් විදියට හිටියේ මූල්‍යමය අතින් එතරම් සතුටුදායක තැනක නෙවෙයි. හැබැයි අපි මේ 2025 වසර අවසන් කරන්නේ මූල්‍යමය අතින් සෑහෙන්න ස්ථාවර තැනක ඉඳගෙන. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ සාධකය තමයි 2023 අවුරුද්ද පටන්ගන්නකොටම ඒ වසර සඳහා පෞද්ගලික මූල්‍ය සැලසුමක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කිරීම. අපි ගෙදරින් එළියට ගිහින් coffee shop එකක ඉඳන් දවසක් විතර වැය කරලා තමයි අපේ පෞද්ගලික මූල්‍ය සැලසුම මුලින්ම හදාගත්තේ. පසුගිය කාලය පුරාවටම අපි කළේ ඒ වෙනුවෙන් හරියටම වැඩ කරපු එක. ඉතින් අද මම ඔබත් එක්ක බෙදාගන්නේ 2026 වසර සඳහා ඔබ පෞද්ගලික මූල්‍ය සැලසුමක් හදාගන්නේ කොහොමද කියන එක.
පියවර 01 : 2026 වසර සඳහා ඔබේ පෞද්ගලික මූල්‍ය දැක්ම නිර්මාණය කරගන්න
ඔබ පුද්ගලයෙක් විදියට තනිවමත්, පවුලක් විදියට ඔබේ ආදරණීයන් සමඟත් එකතුවෙලා 2026 වසර තුළ මූල්‍යමය වශයෙන් අත්පත් කරගන්නට බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද කියන එක පැහැදිලිව තීරණය කරන්න. ඊට අමතරව ඔබේ දිගුකාලීන පෞද්ගලික මූල්‍ය ඉලක්කය කුමක්ද කියන එකත් තීරණය කරගන්න. අපි අපේ පෞද්ගලික මූල්‍ය සැලසුම හදනකොට බලාපොරොත්තු වුණ දේ තමයි අපි හිටපු ඍණාත්මක මූල්‍ය තත්ත්වයෙන් එළියට ඇවිත් හොඳ පෞද්ගලික මූල්‍ය කළමනාකරණයක් තුළින් තව අවුරුදු හතක් ඇතුළත මූල්‍ය නිදහස නිර්මාණය කරගැනීම.
පියවර 02 : ඔබේ වර්තමාන මූල්‍ය තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න
ඔබ මූල්‍යමය වශයෙන් දැන් ඉන්නේ කොතැනද කියන එක හරියටම අවබෝධ කරගැනීම පෞද්ගලික මූල්‍ය සැලසුමක් නිර්මාණය කරගැනීමේදී ඉතා වැදගත්. ඒ සඳහා ඔබ විසින්
– ඔබේ ආදායම (වැටුප්, ව්‍යාපාර ආදායම, ආයෝජන ආදායම)
– ඔබේ වියදම (අත්‍යාවශ්‍ය හා අත්‍යාවශ්‍ය නොවන වියදම්)
– ඔබ ලබාගෙන තියෙන ණය ප්‍රමාණය
– ඔබ සතු වත්කම් ප්‍රමාණය
– ඔබ සතු ආයෝජන
ඇතුළු සියලුම මූල්‍ය දත්ත ගැන හොඳ අවබෝධයක් ලබාගැනීම වැදගත්.
පියවර 03 : 2026 වසර සඳහා ඔබේ මුල්‍ය ඉලක්කයන් නිර්මාණය කරගන්න
2026 වසර තුළ ඔබ අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන මූල්‍ය ඉලක්කයන් පැහැදිලිව තීරණය කරගන්න. උදාහරණ විදියට ඔබේ ආදායම 20%කින් වැඩි කරගැනීම, ඔබේ වර්තමාන ණය බර 50%කින් අඩු කරගැනීම, නව ආදායම් මාර්ග නිර්මාණය කරගැනීම, ආදායම් උපයන වත්කම් නිර්මාණය කරගැනීම වගේ දේවල්. ඊට අමතරව ඔබ විසින් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රාග්ධන වියදම් (නිවාස ඉදිකිරීම, වාහනයක් මිලට ගැනීම) වගේ ඉලක්කත් මෙතැනදී වැදගත්.
මෙහිදී ඔබේ සම්පූර්ණ මූල්‍ය තත්ත්වය ආවරණය වන පරිදි එක් ඉලක්කයක් නිර්මාණය කරගැනීමත් වැදගත්. එය තමයි ඔබේ ශුද්ධ වත්කම් ප්‍රමාණය (Net Worth) ඉහළ නංවා ගැනීම. ශුද්ධ වත්කම් ප්‍රමාණය ගණනය කරන්නේ ඔබ සතු වත්කම්වලින් ඔබ ගෙවිය යුතු වගකීම් ප්‍රමාණය අඩු කරගෙන. උදාහරණයක් විදියට ඔබ සතුව වාහනයක් තියෙනවා නම් එය ලබාගෙන ඇත්තේ ලීසිං පහසුකම භාවිතා කරලා නම් ඔබේ වාහනයේ වටිනාකමින් ඔබ ගෙවිය යුතු ඉතිරි ලීසිං වටිනාකම අඩුකල පසු ලැබෙන අගය තමයි ඔබ සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය යටතට අයත් වෙන්නේ. කොහොමහරි 2026 වසර තුළ ඔබ සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය 2025 වසරට සාපේක්ෂව වැඩි කරගන්නත් ඉලක්කයක් නිර්මාණය කරගන්න.
ඒ වගේම ඔබ නිර්මාණය කරගන්නා සියලුම ඉලක්ක S.M.A.R.T ගති ලක්ෂණවලින් සමන්විත යුතුයි. ඒ කියන්නේ නිශ්චිතබව (Specific), මැනිය හැකිබව (Measurable), අත්පත් කරගත හැකිවීම (Achievable), ඔබේ ජීවිතයේ ඉලක්කවලට අදාළ වීම (Relevant) හා අත්පත් කරගන්න නිශ්චිත කාලසීමාවක් තීරණය කර තිබීම (Time-bound) කියන ගති ලක්ෂණයි.
පියවර 04: ඉලක්ක වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් හදන්න
ඉලක්ක විතරක් තිබුණාට ඔබට 2026 වසර තුළ මූල්‍යමය සාර්ථකත්වය ළඟාකරගන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබ දිනපතාම වැඩ කළ යුතුයි. ඒ සඳහා ඔබ විසින් අනිවාර්යයෙන්ම කළයුතු දේවල් අන්තර්ගත කරලා ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) හදාගැනීම අනිවාර්යයි.
උදාහරණයක් විදියට 2024 වසර අවසන් වෙනකොට අපිට අවශ්‍ය වුණා මාස 12ක් ආවරණය වෙන විදියට හදිසි අවශ්‍යතා අරමුදලක් (Emergency Fund) හදාගන්න. අපි ගණනය කරපු විදියට අපිට මාසිකව රුපියල් 100,000ක මුදලක් තමයි අත්‍යවශ්‍යම වියදම් සඳහා අවශ්‍ය වුණේ. ඉතින් අපි 2023 වසරේ ජනවාරි මාසයේ සිට හැම මාසයකම රුපියල් 50,000ක මුදලක් හදිසි අවශ්‍යතා අරමුදල වෙනුවෙන් ඉතිරි කරන්න පටන්ගත්තා. මොන ප්‍රශ්න ආවත් ඒ මුදල මාසිකව හදිසි අවශ්‍යතා අරමුදල වෙනුවෙන් වෙන්කරන්න අපි හැමවිටම ස්වයං විනයකින් යුතුව කටයුතු කළා. අද වෙද්දී අපේ Emergency Fund එකේ අපි සැලසුම් කළාටත් වඩා වැඩි මුදලක් අපි සතුව පවතිනවා.
මේ විදියට ඔබත් ඔබේ හැම මූල්‍ය ඉලක්කයක් සඳහාම මාසිකව, සතිපතා හා දෛනිකව කළ යුතු දේ ඇතුළත් කරලා ක්‍රියාකාරී සැලැස්මක් හදාගන්න.
පියවර 05 : මූල්‍ය ඉලක්ක අත්පත් කරගැනීමට ඔබේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කරන වැඩපිළිවෙලක් ගොඩනගාගන්න
අඩුම තරමේ හැම මාසයක් අවසානයේදීම ඔබේ පෞද්ගලික මූල්‍ය තත්ත්වය සමෝලෝචනය (Monthly Personal Finance Review) කිරීමට කාලයක් වෙන්කරගන්න. එතකොට ඔබට පුළුවන් ඔබ හරියටම ඔබේ මූල්‍ය ඉලක්ක වෙනුවෙන් වැඩ කරනවා ද කියන එක තේරුම්ගන්න. යම් විදියකින් ඔබ ඔබේ ඉලක්ක වෙනුවෙන් වැඩ කිරීම කිසියම් ප්‍රමාණයකට අතහැර දමා තිබුණොත් ඔබට පුළුවන් වහාම එය නිවැරදි කරගැනීමට වැඩ කරන්න. නැතිනම් වෙන්නෙ ඉලක්ක තිබුණත් ජනවාරි, පෙබරවාරි මාස පහුවෙනකොට ඔබේ උද්යෝගය ක්‍රමයෙන් අඩු වී ඉලක්ක වෙනුවෙන් වැඩ කිරීම ඉබේම මගහැරෙන එක.
ඊට අමතරව ඔබේ මූල්‍ය ප්‍රගතිය දිනපතා මැන බලන්න Excel Sheet, Google Sheets, ජංගම දුරකතන Apps වගේ ඔබට පහසු උපකරණ භාවිතා කරන්න. ඒ තුළින් ඔබට පුළුවන් පහසුවෙන් ඔබේ මූල්‍ය ඉලක්ක වෙනුවෙන් ක්‍රියාත්මක වෙන විදිය අධීක්ෂණය කරගන්න.
මේ විදියට ඔබට පුළුවන් 2026 වසර සඳහා පෞද්ගලික මූල්‍ය සැලසුමක් නිර්මාණය කරගන්න. ඒ වගේම සමහර වෙලාවට ඔබ හදන සැලසුම යම් යම් සිදුවීම් නිසා අවුරුද්ද මැදදී වෙනස් කරන්න සිදුවෙන අවස්ථා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට 2023 වසරේ පැවති ආර්ථික අර්බුධ නිසා අපි වසර මුල තීරණය කළ සමහර මූල්‍ය ඉලක්ක යම්තාක් දුරකට වසර මැදදී වෙනස් කරන්න සිදුවුණා. ඒ නිසා ඔබේ මූල්‍ය සැලසුම ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්න සහ ගළපාගන්නත් විවෘත මානසිකත්වයක් තියාගන්න.
ඒ වගේම මට ඔබට කියන්න අවශ්‍ය වැදගත්ම දේ තමයි සැලැස්මක් තිබූ පමණින් 2026 වසර මූල්‍ය අංශයෙන් ඔබට සාර්ථක කරගන්න බැහැ. ඒ සඳහා ස්වයං විනයක් සහ අඛණ්ඩතාවයකින් යුතුව වැඩ කිරීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට ඔබේ විදුලිය සඳහා යන වියදම අඩු කරගැනීමට අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම දිනපතා වසරක් පුරාවට සිදුකිරීමෙන් ඔබට සැලකිය යුතු මුදල් ඉතුරුවක් ලබාගන්න පුළුවන්. එය ඔබට එක්වරක් කිරීමෙන් ප්‍රතිඵලයක් දකින්න අමාරුයි. ඒ නිසා ස්වයං විනයෙන් යුතුව අඛණ්ඩවම ඔබේ මූල්‍ය ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න.
ඔබ අද මූල්‍යමය වශයෙන් ඉන්න තැනින් යම් ප්‍රමාණයක් හෝ 2026 වසරේදී ඉදිරියට එන්න පුළුවන් කියන එක විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් මේ දින කිහිපය තුළ ඔබේ වටිනා කාලයෙන් යම් කාලයක් ආයෝජනය කරලා ඔබේ 2026 වසර සඳහා පෞද්ගලික මූල්‍ය සැලසුම පිළියෙල කරන්න.
එහෙනම් ඔබ සැමටම සාර්ථකත්වය පිරුණු සතියක්!
මම, මධුර අමරසිංහ
[email protected]
ඔබේ අදහස්, ගැටලු අප වෙත ලියා එවන්න.
ධරණී Financial Guide, ධරණී පුවත්පත, නො.91, විජේරාම මාවත, කොළඹ 07.
#Dharanee #Dharaneedigital #newspaper









