මේක එක්තරා ගමක ඉඳපු ටිකක් මෝඩපහේ මනුස්සයෙක් කරපු හපන්කමක් ඕං. මේ මනුස්සයගේ ගෙදර මිදුලේ සරුසාරෙට කරල් හැදුනු ලොකු මුරුංගා ගහක් තිබුණලු. ඉතින් ඒ කරල් දිහා බලාගන දවසක් මනුස්සයා මෙන්න මෙහෙම හිතුවලු. “මං මේ මුරුංගා කරල් පොළට ගිහින් විකුණලා ඒ සල්ලිවලින් එළදෙනක් මිලට ගන්නවා. ඊටපස්සේ ඒ එළදෙනගෙන් කිරි අරන් ඒවා විකුණනවා. ඒ විකුණලා තවත් එළදෙනක් ගන්නවා. ඒ විදියට මං හරක් පට්ටියක් දාගෙන ලොකුවට කිරි වෙළදාම කරනවා. අන්තිමේ මම ලොරියක් ගන්නවා.” ඔය වෙලාවේ මනුස්සයාට කල්පනා උනාලු මිදුලේ තියන මුරුංගා ගහ නිසා ලොරිය මිදුලට ගන්න බැරි විත්තිය. ඉතින් මේ මනුස්සයා එවලෙම ගෙට ගිහින් පොරොව ගෙනත් අර අපූරුවට තිබුණු මුරුංගා ගහ කැපුවලු. කොහොමද මෝඩකමේ තරම? මේ කතාව මතක් වුණේ මේ කියන්න යන්නෙත් මුරුංගා ගැන කතාවක් නිසා. හැබැයි මේ කතාව කතුරුමුරුංගා ගැන. ඔබත් කතුරුමුරුංගා ගහේ මල්, පත්‍ර වගේ විවිධ කොටස් ආහාරයට අරන් ඇති. ඒත් කවදම හරි ඒවා අත්බෙහෙත් විදියට පාවිච්චි කරලා තියෙනවද? මෙවර අපි හොරිවිල ලිපිය වෙන්කළේ ඒ ගැන කියන්න.
*කතුරුමුරුංගා කොළ කිරට පිස බත් සමඟින් ආහාරයට ගැනීමෙන් මුඛය ආශ්‍රිත රෝගවලින් සුවයක් ලැබේ. උෂ්ණාධික රෝගවලින් ද සුවයක් ලැබේ.
*කතුරුමුරුංගා මල් කිරට, සුදට පිස ආහාරයට ගැනීමෙන් සම පැහැපත් වේ. අර්ශස් රෝගයෙන් පෙළෙන්නේ නම් ඉන් සහනයක් ලැබේ.
*මුඛයේ සෙම් ගෙඩි, බිබිලි වැනි විවිධ ආසාධන තුවාල ඇත්නම් කතුරුමුරුංගා කොළ හොඳින් කොටා මිරිකා ඒ යුෂට ජලය ස්වල්පයක් එකතු කර උදෑසනට කට සෝදන්න. මුඛ දුර්ගන්ධයට ද මෙය කදිම පිළියමකි.
*දිව ආශ්‍රිත ආසාධනයක් නම් කතුරුමුරුංගා කොළ යුෂට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර කට සෝදන්න.
*සමේ ළප කැළැල්වලට කතුරුමුරුංගා කොළ කොටා මිරිකාගත් යුෂ දවසට දෙවරක් බැගින් ගල්වන්න. ඒවා මැකී යයි.
*සන්ධි ආශ්‍රිත ඉදිමුමක් නම් කතුරුමුරුංගා කොළ සහ පොතු එකට අඹරා ගල්වන්න. දින තුනෙන් ඉදිමුම බසී.
*සතියට වරක් කතුරුමුරුංගා කොළ මැල්ලුම් ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වර්ධනය වේ.
ශාන්ත සෙනෙවිරත්න වෙදමහතා
හොරිවිල වෙද මැදුර
රුවන් එස්.සෙනවිරත්න
#Dharanee #Dharaneedigital #newspaper









