මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වූ චරිතයක් ලෙස සංජානා ඔනාලි හැඳින්විය හැකිය. ඇය විසින් මෑතකදී තැබූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් විශාල ආන්දෝලනයක් ඇති වූ අතර, ඒ පිළිබඳව විවිධ පාර්ශව වෙතින් විවිධ මත පළ විය. කෙසේ වෙතත්, මෙම සිදුවීම් මාලාවට ප්‍රතිචාර දක්වමින් සහ තමාට එල්ල වූ චෝදනා සහ ගැටලු පිළිබඳව පැහැදිලි කරමින් ඇය ඊයේ දිනයේ දීර්ඝ සටහනක් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණි. මෙම සිදුවීම සහ ඊට අදාළ පාර්ශවයන් පිළිබඳව තමා සිදුකරන අවසන් ප්‍රකාශය මෙය බව ඇය එහිදී විශේෂයෙන් අවධාරණය කර සිටියි.
ඇයගේ ජීවිතය ගොඩනගා ගැනීම පිළිබඳව සංවේදී හෙළිදරව්වක් කරමින් සංජානා පවසන්නේ, තමා වසර 28ක් තිස්සේ තනිව ජීවත් වූ බවත්, කිසිවෙකු මත යැපී නොමැති බවත්ය. විශේෂයෙන්ම තම මවගේ වියෝවෙන් පසු වර්තමානය දක්වා පැමිණි ගමනේදී තමා සතු සියලු දේ තමාගේම හැකියාවෙන් සහ මහන්සියෙන් උපයාගත් දේවල් මිස, වෙනත් අයෙකුගෙන් ලැබුණු හෝ අයතා ලෙස උපයාගත් දේවල් නොවන බව ඇය දැඩිව ප්‍රකාශ කර සිටියි. යමෙකුගෙන් මුදල් බලාපොරොත්තුවෙන් සබඳතා ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවක් තමාට නොතිබූ බවත්, කිසිවෙකුගෙන් රුපියලක හෝ දෙයක් ලබාගෙන නොමැති බවත් ඇය එහිදී පෙන්වා දෙයි.
තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම් සහ රැවටීම් සමාජ මාධ්‍යයේ බෙදාගත්තේ අන් අයට පාඩමක් ඉගැන්වීමට සහ එවැනි රැවටීම්වලට හසු නොවී සිටීමට බව ඇය සඳහන් කරයි. තමා දැඩිව අසනීප වී සිටි අවස්ථාවලදී පවා අදාළ පාර්ශවයන් තමා ගැන සොයා නොබැලූ බවත්, ඒ මොහොතේ තමා ළඟ සිටියේ තම සැබෑ මිතුරන් පමණක් බවත් ඇය සිහිපත් කරයි. තමාට වචනයකින් හෝ ශක්තියක් වූ පිරිස සමඟ පමණක් ඉදිරියට යාමට තීරණය කර ඇති බවත්, තමාට අසනීප වූ විටවත් නොසැලකූ පාර්ශව ගැන තවදුරටත් නොසිතන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියි.
මේ අතර, සමාජය තුළ කතාබහට ලක්වූ ඇයගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්ද මෙම සටහනේ අන්තර්ගත වේ. තමා කිසිදු අවස්ථාවක සමරිසි ප්‍රජාවට (LGBTQ+) අපහාස කිරීමට හෝ යමෙකුගේ ලිංගික අනන්‍යතාවය උපහාසයට ලක් කිරීමට අදහස් නොකළ බව සංජානා පවසයි. විවිධ අනන්‍යතාවන් ඇති මිතුරන් තමාට සිටින බවත්, තමා විරුද්ධ වන්නේ යමෙකුගේ පෞද්ගලික තේරීම්වලට නොව, මනුෂ්‍යත්වයෙන් තොරව සිදුකරන “රැවටීම්වලට” පමණක් බවත් ඇය අවධාරණය කරයි. ඇයගේ මූලික අරමුණ වී ඇත්තේ තමා ලක්වූ විශාල රැවටීම පිළිබඳව සමාජය දැනුවත් කිරීම මිස යමෙකුගේ අනන්‍යතාවයට පහර ගැසීම නොවන බව ඇය තහවුරු කරයි.
අවසාන වශයෙන්, මනුෂ්‍යත්වයෙන් තොර රැවටිලිසහගත ජීවිත තමා දැඩිව හෙළා දකින බවත්, ප්‍රතික්ෂේප කරන බවත් පවසමින් මෙම මාතෘකාව සම්බන්ධයෙන් මින් ඉදිරියට කතා කිරීමට අදහස් නොකරන බව ඇය දන්වා සිටියි. එළඹෙන නව වසරේදී කිසිදු අයෙකුට රැවටීම් හෝ වංචාවන්ට හසු නොවන අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරන සංජානා ඔනාලි, මෙම අසීරු අවස්ථාවේදී තමාට වචනයකින් හෝ ශක්තියක් වූ සියලු දෙනාට තම ආදරය සහ ස්තූතිය පළ කරමින් ඇයගේ මෙම අවසන් සටහන නිමා කර ඇත.








