Home දේශිය පුවත් “කුස්සියේ පේමන්ට් එකේ නංගි වැටිල හිටියා.. උස්සන කොටත් සිහිය තිබ්බේ නැහැ..” –...

“කුස්සියේ පේමන්ට් එකේ නංගි වැටිල හිටියා.. උස්සන කොටත් සිහිය තිබ්බේ නැහැ..” – පොකුණුවිට සුනේත්‍රාගේ ජීවිතය පොල් ගෙඩියකින් කෙළවර වූ අවාසනාවන්ත කතාව..

0
463

”අපේ නෝනා කෑ ගහන සද්දෙට මම ඇවිල්ල බලනකොට නංගි මුනින් අතට කුස්සියේ පේමන්ට් එකේ වැටිලා හිටියා. එයාගේ දකුණු කණෙන් ගොඩාක් ලේ ගලන්න පටන්ගෙන තිබුණා.

මම එයාව උස්සන කොටත් සිහිය තිබුණේ නෑ.” යැයි පොල් ගෙඩියක් හිසට වැටීමෙන් තුවාල ලබා මියගිය සිය නෑනාගේ වියෝව සම්බන්ධයෙන් ගමින්ද පත්මකුමාර පැවසුවේ දරාගත නොහැකි ශෝකයෙන්.

මරුවා කෙලෙස කොහේ සිට පැමිණේ දැයි මෙලොව ජීවත් වන කිසිවකුට හෝ කිව නොහැක. සුනේත්‍රාට සිය මරණය පොල්ගෙඩියක ලියැවී තිබුණේ යැයි ඇය කිසි මො‍හොතක දැන සිටින්නට ද නැත.

ඥාති නිවෙසේ කුස්සිය පිටුපසින් ඉදිකර ඇති පේමන්ට් කොටසේ සිටියදී පොල් ගෙඩියක් හිසට වැටීමෙන් පොකුණුවිට, හේනේගම නිල්මිණි සුනේත්‍රා ගුණතිලකට (48) සිදුවූයේ ද එවැනිම අවාසනාවන්ත සිද්ධියක්.

පසුගිය 10 දා ඇය නිවෙස අසලම පිහිටි සිය සැමියාගේ සහෝදරයාගේ නිවෙසට පැමිණි විට මෙවැනි විපතකට එම නිවැසියන්ට මුහුණ දීමට සිදුවේ යැයි කිසි විටෙකත් ඔවුන් නොසිතෙන්නට ඇත.

එහෙත් නිල්මිණිගේ මරුවා රැඳී සිටියේ පොල් ගෙඩියක වීම කිසිවෙකුටත් අදහාගත නොහැකි සිදුවීමකි. ඒ ඇය එළියේ නොව වහලක් සහිත මුළුතැන් ගෙයින් එළියට බසින දොරකඩ අසල කොටසේ රැඳී සිටීම නිසාය. එහෙත් සියල්ල සිදුවීමට ගත වූයේ සුළු මොහොතක් පමණි.

හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ලෙස කටයුතු කරන චමින්ද ප්‍රේමකුමාර (46) මහතා නිල්මිණි ගේ ආදරණීය සැමියායි. හේනේගම ප්‍රදේශයේම ඇඟලුම් ආයතනයක තත්ව පාලිකාවක් ලෙස සේවය කරන ඇය කාගේත් හිත දිනාගෙන සිටි සුහදශීලී මිතුරියක්.

නිල්මිණිටත් චමින්දටත් දරුවන් නොසිටි බැවින් නිවාඩු දිනවල ඇය සිටියේ නිවෙසේ හුදකලාවයි. මේ නිසා චමින්දගේ අයියා වන ගමින්දගේ නිවෙසේ නිතරම කාලය ගත කිරීමට ඇය පෙළඹී සිටියාය.

ඒ නෑනා වන චන්ද්‍රිකාගේ ඇසුර වඩාත් ඇය ප්‍රිය කළ බැවින්. එදිනත් ඇය උදෑසනින් එහි ගියේ වේලා ගැනීමට තිබූ පොල් ටිකද රැගෙනය. නිවෙසේ පිටු පසට හොඳින් අව්ව තිබෙන බැවින් ඇය ඒවා එහි වනා චන්ද්‍රිකා සමග ආගිය තොරතුරු කතා කරමින් කාලය ගත කළේ දෙදෙනාගේම හිනා හඬින් ගේ පිරී යද්දීය. නිවෙස පිටුපස ඇති ගස්වල පොල් කඩා ගැනීමට ඔවුන් කටයුතු කළේ මේ අතරයි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කළමනාකරුවකු ලෙස කටයුතු කරන ගමින්ද පත්මකුමාර සිද්ධිය සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නක්.

“නංගී ඉඩ තියෙන වෙලාවට නිතරම ඉන්නේ අපේ ගෙදර. එදත් උදේ පොල් වේලන්නත් එක්ක අපේ ගෙදර ආවා. 11.00 ට විතර පොල් කඩන කෙනෙක් ඇවිත් අපේ ගහක පොල් කැඩුවා. ඒ වෙලාවේ මගේ නෝනා චන්ද්‍රිකා ඒ පැත්තේ වැලේ රෙදි වනමින් හිටියේ. නැතිවුණ නංගි කුස්සියෙ දොරෙන් එළියට ඇවිත් උළුවස්ස ළඟට වෙලා බලාගෙන හිටියා. තාප්පෙ ලඟ ගහෙයි පොල් කැඩුවේ. එහා පැත්තේ පාර හින්දා මම පාර ළඟට ගිහින් පාරෙන් කවුරුවත් එනවද කියලා බැලුවා. එතකොට පොල් ගෙඩි දෙක තුනක් කඩලා තිබුණා.

එකපාරටම අපේ නෝනා කෑගහන සද්දෙ ඇහිලා මම ඇවිල්ලා බැලුවා. එතකොට නංගි පේමන්ට් එකේ මුණින් අතට වැටිලා හිටියා. පොල් ගෙඩියකුත් ඒ ළඟ මිදුලෙ තිබුණා.
අඩි 80ක් විතර උසයි මේ පොල්ගහ. පොල් ගෙඩිය එතන කණ්ඩියෙ වැදිලා විසි වෙලා ඇවිත් නංගිගේ ඔලුවේ වැදිලා තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. නංගිගේ කණින් එක දිගටම පුදුම විදියට ලේ ගලාගෙන ආවා.

ඒ වෙලාවේ ඉඳලම එයාට කිසිම සිහියක් තිබුණේ නෑ. අපි කාරෙකට දාගෙන හොරණ ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එදාම එයාව කොළඹ යැව්වා. ශල්‍යකර්මයකුත් කළා. දැඩි සත්කාර ඒකකයේ මැෂින්වලයි හිටියේ. ජීවත් කරන්න අමාරුයි කියලා අපිට කිව්වා. 15 දා පාන්දර 11ට විතර තමයි නංගි නැති වුණේ.

පොල් ගහ තියෙන්නේ තාප්පෙ ළග කණ්ඩිය උඩ. පොල් ගෙඩිය කණ්ඩියට වැටිලා ඇවිත් නංගිගේ ඔළුවේ වැදිලා තියෙනවා කියලයි මං හිතන්නේ. පොල් ගෙඩිය සෘජුවම ඔළුවෙ වැදිලා කියලා තමයි වෛද්‍යවරුත් කිව්වේ.
වහලෙට පාතින් ඇවිත් නංගිගෙ ඔළුවටම පොල් ගෙඩිය වැටිච්ච එක ගැන අපිටත් තාම හිතා ගන්න අමාරුයි.”

කිසිවෙකුටත් වරදක් නොකළ නිල්මිණි බණ්ඩාරවත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් වූයේ ජීවිතයේ අනියත බව සියල්ලන්ටම පසක් කර දෙමින්.

කොළඹ ජාතික රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ පොල් ගෙඩියක් හිසට වැටීමෙන් සිදු වූ බරපතල තුවාල මත මෙම මරණය සිදුවී ඇති බව යැයි පොලිසිය පවසනවා.

හොරණ මුලස්ථාන පොලිස් පරික්ෂක රංග පෙරේරාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (8282) ලලිත් නිලධාරියා විසින් මේ පිළිබඳ විමර්ශන සිදුකරනු ලැබුවා.

Previous articleනිවාස හදන්න, විවාහ වෙන්න බලාගෙන ඉන්න අයට මෙන්න සුබ ආරංචියක්.. 2026 වසරේ ඔබේ සියලු සුබ කටයුතුවලට අදාළ වේලාවන් මෙන්න..
Next article“ඔයා ගෙදර එනකල් අපි බලන් ඉන්නවා පුතේ” – තවත් මවකගේ උකුල පාලු කළ රේස් පිස්සුව ගැන ඇහෙන සංවේදී කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights