වික්ටර් රත්නායකයන් ‘ආදරයේ උල්පත වූ අම්මා’ ගීතය ගයද්දී අගමැතිනිය සංවේදී වෙයි !
ආචාර්ය වික්ටර් රත්නායකයන් යනු ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු ත්‍යාගයක් බවත්, එතුමන් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉටුකළ
මෙහෙවර වචනවලින් විස්තර කළ නොහැකි තරම් විශිෂ්ට බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද “සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය” උපහාර උළෙල අමතමිනි.
ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී අද (24) පැවැත්වුණු මෙම උත්සවයේදී, දශක හයකට වැඩි කාලයක් පුරා වික්ටර් රත්නායකයන් ඉටුකළ කලා මෙහෙවර ඇගයීමට ලක්කෙරිණ.
මෙහිදී වික්ටර් රත්නායකයන්ට උපහාර පිණිස ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රය තුළ ඔහුගේ ඡායාරූපයක් විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු විය.
පසුගිය පෙබරවාරි 18 වැනිදා සිය 84 වැනි ජන්ම දිනය සැමරූ වික්ටර් රත්නායකයන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරිය, මෙවන් උපහාර උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිය පළ කළාය.
වර්තමාන මාධ්‍ය තරගකාරිත්වය හමුවේ වුවද, මෙරට ජීවමාන විශිෂ්ට කලාකරුවන් අගය කිරීමට ගුවන්විදුලිය ගන්නා උත්සාහය ඇයගේ විශේෂ ඇගයීමට ලක්විය.
මෙහිදී වික්ටර් රත්නායකයන් ‘ආදරයේ උල්පත වූ අම්මා’ ගීතය ගයද්දී අගමැතිනිය සංවේදීවූ අකාරයක් දක්නට ලැබිණ.
ආචාර්ය වික්ටර් රත්නායකයන් අපේ රටට ලැබුණ මහගු ත්‍යාගයක්
මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
” මම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. ඔබට මේ තරම් සමීපව උපහාර පුදකරන්නට මට මගේ ජීවිතයේ මෙවන් අවස්ථාවක් ලැබෙයි කියා මම කවදාවත්ම හිතුවෙ නෑ. ඉතින් මේ මොහොත ඉතාමත් සතුටුදායක, සුවිශේෂී ඓතිහාසික මොහොතක්.
වසර හැටකට වැඩි කාලයක් ඔබතුමා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක්. අපේ රටේ වැඩිම වරක් වේදිකාගත වූ ඒකපුද්ගල සංගීත ප්‍රසංගය වන ඔබතුමාගේ ‘ස’ ප්‍රසංගය තමයි මගේ ළමා කාලයේ දී නැරඹුව පළවෙනි ප්‍රසංගය.
මට සිංහල භාෂාවේ ගැන ආශාව ඇතිකළේ ඔබේ ගීත. “කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න”, “සඟවා ගනු මැන සොඳුරිය” වැනි ඔබ ගැයූ ගීත ආදරය පිළිබඳ සියුම්, අපූර්ව ඉදිරිපත්කිරීම් ගෙනදැක්වූවා. සංගීතයට, භාෂාවේ අපූර්වත්වයට අපව වෙනමම ලෝකයකට රැගෙන යා හැකි බව මම තේරුම්ගත්තේ මේ ගීතවලින්.
ඒ වගේම ඒ ගීත තුළ ගැබ් වූ සංහිඳියාව පිළිබඳ සංකල්ප අපි කතා කළ යුතු ම දෙයක්. ‘සරුංගලේ’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ ” ඔබ යන ගමනේ මාවත අහුරා” වැනි ගීතවල සංගීත යෝජනය සහ ගායනය තුළ ඉතා ස්වාභාවික ලෙස අපට විවිධ සංස්කෘතීන්ගේ අපූර්වත්වය කියා දුන්නා.
සැබැවින්ම අපි රටක් ලෙස ඉතා වාසනවාන්ත වෙනවා ඔබ වැනි ඉතා වටිනා ත්‍යාගයක් අපට ලැබීම පිළිබඳව.
ජීවිතවල සෑම විශේෂ මොහොතක්ම වික්ටර් රතනායකයන්ගේ නිර්මාණ සමඟ බැඳී පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
එමෙන්ම පසුගිය පෙබරවාරි 18 වැනි දා සිය 84 වැනි ජන්ම දිනය සැමරූ ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙත නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරිය මෙවන් උළෙලක් සංවිධානය කිරීම සමබ්න්ධව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිවන්ත විය. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින තරඟකාරිත්වය හමුවේ ගුවන්විදුලි සංස්ථාවට අභියෝග රැසක් පැවතුණද සියල්ල ජයගනිමින් ඉදිරියට යාමේ ශක්තිය ගුවන්විදුලි සංස්ථාව වෙත පවතින බව තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහි දී පැවසීය.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න , ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහචාර්ය උදිත ගයාශාන් ගුණසේකර, ආචාර්ය වික්ටර් රත්නායක ශුරීන්ගේ පවුලේ ඥාතීන්, රසිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.












