Home දේශිය පුවත් කිසිදා අමතක නොවෙන නැදුන්ගමුවේ රාජා බලන්න වසර ගණනක පසු කළු මාමත් ඇවිත්.....

කිසිදා අමතක නොවෙන නැදුන්ගමුවේ රාජා බලන්න වසර ගණනක පසු කළු මාමත් ඇවිත්.. හස්තියා රැකබලාගත් කළු මාමාට අද මොන තරම් සතුටු ඇතිද..?

0
383
මෙරට වඩාත් ගෞරව බහුමානයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාවේ නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කර විවෘත කිරීම අද සිදුවුණා.

මීට සිව්වසරකට පෙර දැයෙන් සමුගත් නැදුන්ගමුවේ විජය රාජා හෙවත් නැදුන්ගමුවේ රාජා හස්තියා සැලකෙන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට එක්වූ විශ්වාසවන්තම හා වඩාත් සංයමයෙන් යුත් හස්තියා ලෙසයි.

12 වතාවක් මහනුවර අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කරවීමේ භාග්‍යය හිමිකරගත් නැදුන්ගමුවේ රාජා 2021 වසරේ අවසන් වරට කරඬුව වැඩම කරවන අවස්ථාවේදී පාවඩය සකසමින් ඒ මත ගමන් ගත් දර්ශනය ලොවපුරා අවධානය දිනූ සිදුවීමක් වුණා.

නැදුන්ගමුවේ රාජා වඩාත් ශික්ෂණයකින් යුතු හස්ති රාජයෙකු වීමට කළු මාමා වෙතින් ලද ආදරණය හා කරුණාව ද බලපා තිබුණා.

ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ ද මැදිහත්වීම මත දේහය සංරක්ෂණය කිරීමට තීරණය කෙරුණේ හස්තියා වටා ගොඩනැගුණු ආගමික හා සංස්කෘතික වටිනාකම් මතු පරපුරටත් සන්නිවේදනය කරවීමේ අරමුණින්.

ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හස්තියාගේ සංරක්ෂණ කටයුතු ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබුවේ රුපියල් මිලියන 26ක පමණ වියදමකින්.

වසර 500ක් පමණ කල්පවත්නා අයුරින් සංරක්ෂණය කෙරුණු මේ හස්තියාගේ රුව අද පළමු වරට විවෘත කෙරුණේ කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදීයී.

ඒ, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි.

එම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල, නැදුන්ගමුවේ රාජා හස්තියාගේ හිමිකරු වන හර්ෂ ධර්මවිජය යන මහත්වරුන් සහ හස්තියා රැකබලාගත් කළු මාමා ද එක්ව සිටියා.

මෙහිදී සුවිශේෂී චරිතයක් වුණු කළු මාමා ගැන බොහෝ දෙනෙක් අද නැවතත් කතා වුණා. මේ ඔහු ගැන මින් පෙර අවස්ථාවකදී පළවුණු සටහනක්..

ගාල්ල උඩුගම ප්‍රදේශයේ උපත ලැබූ කලු මාමා නොහොත් නොහොත් විල්සන් කොඩිතුවක්කු, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට නැදුන්ගමුවේ රාජාගේ ඇත්ගොව්වා 1972 වසරේ විතර ඉඳලා ධර්මවිජය වෙද මහත්තයාගෙ ගෙදර තමයි මෙහෙකරුවෙක් විදිහට සේවය කරන්නේ. වෙද මහත්තයා විසින් නැදුන්ගමුවේ රාජාව මිලදී ගන්නේ 1978 අවුරුද්දේ.

1958 අවුරුද්දේ ඉන්දියාවේ මහරාජා කෙනෙකුට අයිති ව ඉපදෙන රාජා ලංකාවට ලැබෙන්නෙ තෑග්ගක් විදිහට. ඉන්දියාවේ ඉඳලා නැවෙන් ආවට පස්සෙ කවමදාවත් වාහනයකට රාජා පටවලා නෑ කියලා කළු මාමා කියනවා. ඒකට හේතුව විදිහට ඔහු කියන්නෙත් නැදුන් ගේ උසස් බරත් හුඟක් වැඩි නිසා වාහනයක් ඇතුලේ එයාව බැලන්ස් කරන්න අමාරුයි කියන එක. ඒ වගේම පයින් ගමන් කරන එක රාජාට හොඳ ව්‍යායාමයක් කියලත් කළු මාමා කියනවා.

2005 අවුරුද්දේ මාලිගාවේ කරඬුව වඩමවන්න පත්වුණාට පස්සේ එදා ඉඳලා වැලිවේරියේ ඉඳලා මහනුවරට එනකල් රාජ එක්ක කළු මාමත් පහුගිය අවුරුද්ද වෙනකල්ම නොකඩවා පයින් ගමන් කරනවා. වැලිවේරියේ ඉඳලා මහනුවරටත්. ආපහු මහනුවර ඉඳලා වැලිවේරියටත්. කළු මාමා කියන විදියට කලින් නම් රාජාට ඒ ගමනට ගිහින් තියෙන දවස් පහයි. ඒත් වයසට යනකොට ඇතාට ඒ ගමනට දවස් දහයක් විතර ගත වෙලා තියෙනවා.

කළු මාමා කියන විදිහට රාජාට ආහාර විදිහට දීලා තියෙන්නෙ සාමාන්‍ය ඇතකුට දෙන ආහාර නෙමෙයි. එක වෙද මහත්තයා විසින් නිර්දේශ කරපු ඇතුන්ගේ දත් ආරක්ෂා කරන විශේෂ වට්ටෝරුවක්. ඒත් කළු මාමා ඒ ගැන එතරම් දීර්ඝ විස්තරයක් කතා කරන්නේ නෑ. කිතුල් බොඩ කොස් අතු වගේ දේවල් ආහාරයට දෙනවා කියලා තමයි ඔහු කියන්නේ.

Previous article“කැමති නැකතක් බලලා අවුරුදු කන්න..” ලංකාවටම එකම වෙලාවක අවුරුදු කන්න බැරි වෙයිද? මොකද්ද මේ නැකැත් සීට්ටුවට වෙච්ච දේ
Next articleඅද (11) මධ්‍යම රාත‍්‍රියේ සිට රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල ඉහළට..
error: Content is protected !!
Verified by MonsterInsights