පවතින අධික උෂ්ණත්වය මත නැන්දණිය හා ඇතිකරගත් ආරවුලක් මත සැමියා පහරදුන්නැයි උරණ වූ කාන්තාවක් සිරුරට ගිනි තබා ගනිමින් සියදිවි නසාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වත්තල, ඔලියමුල්ලේ පදිංචි නිශාන්ති රුවනි නමැති 34 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව තම සැමියා හා දරු දෙදෙනා සමගින් ඔලියමුල්ලේ පිහිටි කුලී නිවසක පදිංචිව සිටින අතර එම නිවසේ සැමියාගේ මවද පදිංචි වී සිටියි.
පෙරේදා රාත්‍රියේ තම වැඩිමහල් දියණිය සැමියාගේ මව නිදා සිටි කාමරයට ගොස් ඇය හා නිදාගෙන ඇති අතර නැන්දණිය විසින් විදුලි පංකාව තමන් දෙසටම හරවා ගනිමින් නිදා සිටින ආකාරයත් තම දියණිය දහදිය වැතිරි අපහසුවෙන් නිදන ආකාරයත් මෙම කාන්තාව දැක පසුව ඇය තම සැමියාට පවසා ඇත්තේ මව දෙසට හරවාගෙන සිටින විදුලි පංකාව දියණිය නිදන දෙසට හරවන ලෙසය. එම ඉල්ලීම සැමියා විසින් නොසලකා හැර ඇති අතර පසුව බිරිඳගේ ඇවිටිලි දරාගත නොහැකිව සැමියා විසින් බිරිඳට පහරදී ඇත.
පහරකෑමට ලක්වූ බිරිඳ ආවේගයෙන් මුළුතැන්ගෙය දෙසට ගොස් සිරුරට භූමිතෙල් වක්කර ගනිමින් ගිනි තබාගෙන තමා බේරාගැනීමට නොඑන්නැයි කෑ ගසා ඇත.
මෙම අවස්ථාවේ සැමියා ඇය බේරා ගැනීමට උත්සහා දරා ඇති අතර බිරිඳ ගිනිගෙන සිටියෙදීම ඔහුව තල්ලු කොට තිබේ. පසුව ප්‍රදේශවාසීන් පැමිණ ගින්නට වතුතර දමා තුවාල ලද කාන්තාව හා සැමියා රෝහල්ගත කළද කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම මරණයට අදාළ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි ඉදිරියේ ඊයේ (08 වැනිදා) පැවැති අතර එහිදී මරණකාරියගේ මව සහ නැන්දණිය සාක්කි ලබාදුන්හ.
කෙසේ වෙතත් මරණකාරියගේ සැමියා රෝහල්ගත කර ඇති හෙයින් ඔහුගේද සාක්කි විමසීම සඳහා ලබන මැයි 11 වැනිදා තෙක් විමර්ශනය කල් දමනු ලැබීය.
මෙම මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන වත්තල පොලිසිය මගින් සිදුකරයි.
-උපුටා ගැනීම අරුණ පත්තරෙන්










