Home දේශිය පුවත් කදුළට යුක්තිය ඉල්ලා පාස්කු ප්‍රහාරයේ 7 වෙනි සැමරුම අද රට...

කදුළට යුක්තිය ඉල්ලා පාස්කු ප්‍රහාරයේ 7 වෙනි සැමරුම අද රට පුරා..සදාදරණීයයන් සිහිපත් කිරීමට නිහැඬියාවක්..

0
156
ඒ අඳුරු දවස, කිසිවෙකුට කිසිදා අමතක නොවේවි..

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 7ක් සපිරීමට සමගාමීව වින්දිතයන් සැමරීමේ වැඩසටහනක් අද (21) පැවැත්වෙන බව ජාතික කතෝලික සභාව පවසනවා.

ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන සැමරුම අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ඇන්ටන් රංජිත් සහයක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එසේම, පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් අද (21) දිවයිනේ සියලුම දේවස්ථානවල විශේෂ අනුස්මරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව පෙරවරු 8:45ට: සියලුම දේවස්ථානවල මළවුන්ගේ සීනුව නාද කෙරෙනු ඇති.

පෙරවරු 8:45 සිට 8:47 දක්වා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමින් ගෞරව දැක්වීම සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා යාඥා මෙහෙයන්ද සෑම දේවස්ථානයකම සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, මීගමුව – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30 ට දිව්‍ය පූජාවක් පවත්වා සිහිවටන ස්මාරකය අසළදී ඉටිපහන් දැල්වීමක් සිදුකෙරෙනවා.

මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිමිත්තෙන් යැදුම් පාගමනක්ද සංවිධාන කර ඇති අතර එය පස්වරු 4 ට මාරිස්ටෙලා විදුහල් ක්‍රිඩාංගණයෙන් ආරම්භ වී කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි.

එමෙන්ම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන ප්‍රධාන දේව මෙහෙයට සමගාමීව අද උදෑසන 7.00 සිට එම කටයුතු අවසන් වනතෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලීසිය නිවේදනය කළේ.

Previous articleමෙරට සංගීත ලොව බැබළවූ තවත් පහනක් නිවී යයි..ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න..
Next articleශාන්තා සහ නිසංගා.. අඳුරු පාස්කු මතකයට වසර හතක් සපිරෙද්දී, රටක් කම්පා කළ ඔවුන්ගේ නික්මයාම…
error: Content is protected !!
Verified by MonsterInsights