Home දේශිය පුවත් එදා යකඩ ගොඩක් මැද හුස්ම සොයා ගිය වෛද්‍ය යුවල ගැන අද ...

එදා යකඩ ගොඩක් මැද හුස්ම සොයා ගිය වෛද්‍ය යුවල ගැන අද ඇසෙන මේ කතාව මොකද්ද..?

0
733

වැලිපැන්න අහස යට ලියවුණු මානුෂීය වීරකාව්‍යය

පසුගිය 06 වැනිදා අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය අසලින් ඇසුණු ඒ මහා ශබ්දය හුදෙක් වාහන දෙකක් ගැටීමේ හඬක්ම පමණක් නොවීය. එය එක් මොහොතකින් ජීවිත කිහිපයක ඉරණම තීරණය කළ, බියකරු මෙන්ම මානුෂීය ගුණාංග පිරික්සූ පරීක්ෂණයක් බඳු විය.

කොළඹ සිට මිදිගම බලා ටයර් නිෂ්පාදන අමුද්‍රව්‍ය රැගෙන ගිය කන්ටේනර් රථයක රෝදයක් මාරු කරමින් සිටි රියදුරාත්, නොසිතූ මොහොතක පිටුපසින් පැමිණ එහි ගැටුණු සිමෙන්ති බවුසර් රථයත් අතර මැද සිරවී තිබුණේ අමිල වූ මිනිස් ජීවිත කිහිපයකි. සිමෙන්ති බවුසරයේ ඉදිරිපස කොටස පොඩි වුණු යකඩ ගොඩක් බවට පත්වෙද්දී, එහි රියදුරු ඇතුළු තිදෙනා ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියහ. සිදු වූ බිහිසුණු අනතුරින් රෝදය මාරු කරමින් සිටි කන්ටේනර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

නමුත් ඒ අඳුරු අලුයම මොහොතට එළියක් වෙමින්, දෛවෝපගත ලෙස එතැනට පැමිණි වෛද්‍ය යුවළක් තම ගමනාන්තය අමතක කළහ. වෛද්‍ය විද්ව කළුතොට සහ වෛද්‍ය කිත්මා ගුණරත්න යන මේ දෙපළ රෝහලක සුදු ඇඳුමෙන් සැරසී නොසිටියද, මහ පාරේ දූවිලි අතරේ සැබෑ ‘දෙවිවරුන්’ බවට පත් වූහ. පැය දෙකකට අධික කාලයක් සුන්බුන් අතර සිරවී මරණයේ බිය අත්විඳි තුවාලකරුවන් අසලම රැඳී සිටිමින්, ඔවුන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දෙමින් ඒ හුස්ම ටික රැක ගැනීමට ඔවුන් කළ කැපවීම අතිමහත්ය.
දකුණු අධිවේගී මාර්ගය ඒ වනවිට ද තිබුණේ අලුයම මීදුමෙන් වැසීගෙනය. හිරු කුමරු ලොව දකින්නට පෙර, තමන්ට හිමි සේවා මුරය වාර්තා කිරීමට කඹුරුපිටිය සහ දෑරංගල රෝහල් බලා රිය පදවමින් සිටි මේ යුවළ, එදින තම ජීවිතයේ අමතක නොවන පරිච්ඡේදයක් ලියවෙනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
අලුයම 5:30 ට පමණ ඔවුන් වැලිපැන්න දෙසින් අධිවේගී මාර්ගයේ ගමන් කරද්දී ඈතින් පෙනුණේ අසාමාන්‍ය කලබලයකි. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිපදෙනකු පාරේ සිටිනුත්, ගිලන් රථයක් නතර කර ඇති අයුරුත් ඔවුහු දුටුවෝය. රතු කොඩියක් වනමින් පාරේ සිටි නිලධාරියා දුටු සැණින් ‘අනතුරක් වෙලා වගේ’ යන්න මොවුන් දෙපළගෙන් වෛද්‍ය විද්ව කළුතොටට වැටහිණ. ටිකෙන් ටික අදාළ ස්ථානයට ළං වෙද්දී දර්ශනය වූයේ බිහිසුණු දසුනකි. දැවැන්ත සිමෙන්ති බවුසරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටී මාරක අනතුරක් සිදුව තිබිණි. වාහන දෙකම දැඩි ලෙස අබලන් වී තිබූ අතර අවට පරිසරයම අඳුර සහ තෙල් ගඳින් පිරී තිබිණි.

තත්පරයක්වත් පමා නොවූ වෛද්‍ය විද්ව, බිරිඳ රථයේ සිටියදී වහාම අනතුර සිදුව තිබූ ස්ථානයට දිව ගියේය.

ඔවුන් එම ස්ථානයට ළඟා වනවිට සිටියේ එක් රථයක රියදුරු සහ සහයක පමණි. සහායක අසුනේ සිටි පුද්ගලයා සුළු තුවාල සහිතව ඉක්මනින් මුදා ගැනීමට හැකි වුවද, රියදුරු අසුනේ සිටි පුද්ගලයාගේ තත්ත්වය තරමක් බරපතළ විය. ඔහු සුක්කානමට සහ අසුනට මැදිවී සිරවී සිටි අතර, ඔහුට හුස්ම ගැනීමේ දැඩි අපහසුවක් ඇති බව වෛද්‍යවරුන්ට වැටහිණි.

“එක්කෙනෙක්ට අමාරුයි, ඉක්මනට ස්ටෙතස්කෝප් එක ගේන්න…”

වෛද්‍යවරයා තම බිරිඳට දුරකථන ඇමතුමකින් පැවසීය. තමන් සතුව තිබූ සුළු වෛද්‍ය උපකරණ අතැතිව රියදුරු අසලට ගිය ඔවුන් දෙපළ, අතිශය දුෂ්කර තත්ත්වයක් යටතේ රෝගියා පරීක්ෂා කළහ. රියදුරුගේ උදරය ප්‍රදේශය දැඩි ලෙස තැළී තිබූ අතර, අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට (අක්මාව හෝ ප්ලීහාව) හානි වී ඇති බවට ඔවුන් සැක කළහ. එසේම පෙණහලුවලට රුධිරය කාන්දු වීමක් නිසා හුස්ම ගැනීමේ අපහසුව ඇති විය හැකි බවට නිගමනය කළ ඔවුහු රෝගියාගේ ජීවිතය රැක ගැනීමට මං සෙවූහ.
යකඩ ගොඩක් මැද සිරවී සිටි ඔහුට සේලයින් ලබා දීමට කැනියුලා එකක් දැමීමට උත්සාහ කළත් පටු ඉඩකඩ සහ තැළුණු යකඩ කොටස් නිසා එය ප්‍රායෝගික නොවීය. එහෙත් වෛද්‍යවරයා පසුබට වූයේ නැත. ඔහු වාහනය උඩට නැග, රෝගියාගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඔහුට අවශ්‍ය මානසික ශක්තිය ලබා දුන්නේය.
අනතුර වූ ස්ථානය පුරා තෙල් හැලී තිබූ අතර, ඕනෑම මොහොතක ගින්නක් හටගැනීමේ දැඩි අවදානමක් ද පැවතිණි. එහෙත් STF නිලධාරීන්, ගිනි නිවන ඒකකයේ සේවකයන් සහ වාහනවල සිටි ජනතාව තම ජීවිත අවදානම නොතකා මෙම කටයුත්තට තමන්ට හැකි පමණ සහය දැක්වූහ. අවසානයේ පැය දෙකක පමණ අසීරු මෙහෙයුමකින් පසු, හයිඩ්‍රොලික් උපකරණ යොදා ගනිමින් යකඩ කොටස් කපා රියැදුරුව එළියට ගන්නා විට වේලාව පෙරවරු 7:00 පසු වී තිබිණි.

නැවතත් බාධකයක් මතු විය. ඒ, අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වැසී තිබූ බැවින් ගිලන් රථයට අනතුර වූ ස්ථානයටම ළඟා වීමට නොහැකි විය. අවසානයේ තීරණය වූයේ අධිවේගී මාර්ගය මැද ඇති යකඩ වැටෙන් එපිට අනෙක් මංතීරුවේ නවතා ඇති ගිලන් රථයට රෝගියාව රැගෙන යෑමටයි. එක් පැත්තකට හතර දෙනා බැගින් අටදෙනකු රෝගියාගේ කොන්දට හානි නොවන සේ ‘ස්පයිනල් බෝඩ්’ එක මත තබා, අතිශය ප්‍රවේශමෙන් යකඩ වැටෙන් එගොඩ කර ගිලන් රථයට ඇතුළත් කිරීමට ඔවුහු සමත් වූහ.

මෙම සත්කාරය අතරතුර වෛද්‍ය කිත්මා ගුණරත්න සිය රෝහල් ඒකකයට දැනුම් දුන්නේ තමා අනතුරක් හේතුවෙන් ප්‍රමාද වන බවය. ඇයගේ රෝහල් කාර්ය මණ්ඩලය ලබා දුන් සහයෝගය ද මෙහිදී අගය කළ යුතුය. “ඔයා එතන රෝගියා ස්ථාවර කරලම එන්න” යනුවෙන් ඇයගේ සහෝදර වෛද්‍යවරිය පැවසූ වදන් වෛද්‍ය කිත්මාට මහත් ශක්තියක් විය.

කවදාවත් නොමැතිව, එදින ඔවුන් සුපුරුදු වේලාවට වඩා පැයකට කලින් නිවසින් පිටත් වීම බවුසර් රථ රියදුරුගේ පෙර පිනක් විය හැකිය. සුපුරුදු වේලාවටම මොවුන් දෙපළ පැමිණියා නම් ඇතැම් විට ඔවුන්ට සිටින්නට වන්නේ රිය අනතුර නිසා හටගෙන තිබුණු විශාල වාහන තදබදයේ සිරවීගෙනය. තමන්ට මඟදී මුණගැසුණු අසරණ මිනිසුන් මරණයෙන් මුදා ගැනීමට හැකිවීම පිළිබඳව මෙම යුවළ නිහතමානීව සතුටු වෙති.

මීට වසරකට පෙර තම යෙහෙළියකගේ සැමියා අධිවේගී මාර්ගයේදී මෙවැනිම අනතුරකින් අකාලයේ සමුගත් ආකාරය වෛද්‍යවරියට සිහිපත් විය. එදා ඇයගේ යෙහෙළිය අධිවේගී මාර්ගයේ කාගේවත් පිළිසරණක් නොමැතිව අසරණව සිටි අයුරු සිහිපත් වන විට, අද තමා ඉදිරිපිට සිටින රෝගියාට මියයෑමට ඉඩ දිය නොහැකි බව ඇය තරයේ අධිෂ්ඨාන කර ගත්තාය. තවත් විශේෂත්වයක් වන්නේ එදින ඇයගේ පියාගේ උපන්දිනය ද යෙදී තිබීමය. පියාගේ උපන්දිනය දා මිනිස් ජීවිතයක් රැක ගැනීමට දායක වීමට ලැබීම ඇයට දැනුණේ උතුම් පින්කමක් ලෙසිනි.

අධිවේගී මාර්ගයේ තාර තට්ටුව මත වැගිරුණු තෙල් සහ ලේ සුවඳ පරදා එදින මනුෂ්‍යත්වයේ සුවඳ දසත විහිදී ගියේය. වෛද්‍ය විද්ව සහ වෛද්‍ය කිත්මා යනු හුදෙක් උපාධි නාමයකට එහා ගිය, හදවතින්ම මිනිසුන්ට ආදරය කරන වෘත්තිකයන් දෙපළක් බව එදින වැලිපැන්න අහස සාක්කි දැරීය. නිල ඇඳුම පසෙක තබා, දුහුවිලි සහ තෙල් තැවරුණු දෑතින් ඔවුන් එදා රැක ගත්තේ එක් හුස්මක් පමණක් නොව, මියයමින් පවතින සමාජයක තවමත් ඉතිරිව ඇති මානුෂීය ගුණාංග පිළිබඳ නොනිමෙන බලාපොරොත්තුවයි.

මෙවැනි මිනිසුන් සිටිනා රටක මනුෂ්‍යත්වය තවමත් මියගොස් නැත. තම රාජකාරිය රෝහල් බිත්තියට පමණක් සීමා නොකර, මහ මඟදී පවා දේවදූතයන් මෙන් පෙනී සිටි මේ වෛද්‍ය යුවළට මුළුමහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය.
#gossipbro

Previous articleප්ලේන් එකේ යනකොට වීඩියෝ කරන්න තාත්තේ!” රට යන තාත්තාගේ අතට දුව දීපු ලෝකේ වටිනාම ලියුම.
Next articleවහා Mrs / Ms චන්දිමාල්ව අත් අඩංගුවට ගන්නා ලෙසට සමාජයෙන් විරෝදයක් !
error: Content is protected !!
Verified by MonsterInsights