හොඳම මිතුරාගෙන් වුන අත්වැරදීමක් නිසා ජීවිතයෙන් සමුගත්ත මේ තරුණියගේ අවසන් කැමැත්ත නිසා
ජීවිත ගණනාවක් බේරාගන්න පුළුවන්වුනා…
හැමෝම හඬවමින් අවසන් ගමන් ගිය කිම්බර් ගේ සංවේදී ජීවිත කතාව
සමහර මරණ තියෙනවා, ඒ මරණ අපිට ඉතිරි කරලා යන්නේ කඳුළක් විතරක්ම නෙවෙයි. ඒ කඳුළ අස්සේ හැංගුණු මනුස්සකමේ මහා ලොකු ආඩම්බරයක්. අද මම ඔබට කියන්න යන්නේ මීට වසර කිහිපයකට පෙර මුළු ලෝකයකම දෑස් තෙත් කළ, ඒ වගේම ලෝකයටම ආදර්ශයක් වුණු 18 හැවිරිදි රූමත් යුවතියකගේ සංවේදී කතාවක්.
මේ කතාවේ කතා නායිකාවගේ නම කිම්බර් මිල්ස් (Kimber Mills).
ඇලබාමා ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් උසස් විද්‍යාලයේ (Cleveland High School) ඉගෙන ගත්ත කිම්බර් කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත දක්ෂ චියර්ලීඩර් (Cheerleader) කෙනෙක්. ඇගේ මුහුණේ නිතරම තිබුණේ හරිම හුරුබුහුටි හිනාවක්. පාසලේ ඉගෙනීමට වගේම ක්‍රීඩාවටත් එක වගේ දක්ෂ වුණු කිම්බර්, යාළුවෝ අතර හරිම ජනප්‍රියයි. ඇය ජීවිතයට ගොඩක් ආදරය කළා. ඇයට ලොකු හීන තිබුණා. ඒත් දෛවය ඇය වෙනුවෙන් ලියලා තිබුණේ හරිම කෙටි, ඒත් හරිම අර්ථවත් පිටපතක්.
ඇලබාමා වල The Pit කියලා හඳුන්වන වනාන්තර සහිත පෙදෙසක තිබුණු බොන්ෆයර් එකකට (ගිනිමැල සන්දර්ශනයකට) කිම්බර් සහභාගී වුණේ යාළුවෝ එක්ක සතුටු වෙන්න හිතාගෙන.
හිනා හඬවල්, සතුටු සාමීචි මැද ගෙවුණු ඒ රාත්‍රිය එක මොහොතකින් අඳුරු වුණේ එකවරම ඇසුණු වෙඩි හඬකින් මුළු පරිසරයම දෙදරුම් කෑවා. ඒ අවාසනාවන්ත වෙ 7 ඩි උණ්- ද ය ඉලක්ක වුණේ අහිංසක කිම්බර්ගේ හිස.
කිම්බර්ට මේ දේ කලේ එවකට 19 හැවිරිදි වියේ පසුවූ ජෙසී බැප්ටිස්ට් හෝල්ට් (Jesse Baptist Holt) නමැති තරුණයායි. මොහු කිම්බර්ගේ මිතුරෙකු වූ අතර එදින රාත්‍රියේ “The Pit” ප්‍රදේශයේ පැවැති සාදයට ඔහුද සහභාගී වී සිටියා.
(පරීක්ෂණ වලදී හෙළි වූ කරුණු අනුව මෙයට කිසිදු පෞද්ගලික කෝපයක් හෝ පළිගැනීමේ චේතනාවක් තිබී නැහැ. ඒක අත්වැරදීමක්, මේ සිදුවීම නිසා ජෙසී එම ස්ථානයෙන් පැන ගියත්, පසුව පොලිසියට භාර වුණා…)
කිම්බර්ව වහාම UAB රෝහලට ඇතුළත් කළත්, වෛද්‍යවරුන්ට ලොකු බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් වුණේ නැහැ. ඇගේ මොළයට වෙඩි උණ්ඩයෙන් සිද්ධ වෙලා තිබුණු හානිය දරුණු වැඩියි. දවස් කිහිපයක් ජීවිතයත් මරණයත් අතර සටන් කරපු කිම්බර්, අවසානයේ Brain Dead හෙවත් මොළය මියගිය තත්ත්වයට පත්වුණා.
ඇගේ දෙමාපියන්ගේ ලෝකය කඩාගෙන වැටුණේ ඒ වෙලාවේ. තමන්ගේ එකම දියණිය තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ කියන එක දරාගන්න ඒ අම්මටයි තාත්තටයි ශක්තියක් තිබ්බේ නැහැ, ඔවුන් කෑ ගහලා ඇඩුවා
ඒත්… ඒ වේදනාව මැදත් ඔවුන්ට කිම්බර් මීට අවුරුදු කිහිපයකට කලින් කියපු එකම එක කතාවක් මතක් වුණා.
“අම්මේ… මම කවදා හරි මැරුණොත්, මගේ අවයව කාට හරි ප්‍රයෝජනයක් වෙන්න දෙන්න. මම මැරුණත් තව කෙනෙක් මගේ ඇස් වලින් ලෝකය දකිනවා නම්, මගේ හදවතින් තව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක කොච්චර දෙයක්ද?”
කිම්බර්ගේ මේ අහිංසක කැමැත්තට ගරු කරන්න ඇගේ පවුලේ අය තීරණය කළා. තමන්ගේ දරුවා අහිමි වීමේ දරාගත නොහැකි වේදනාව අස්සේ, තවත් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා බේරගන්න ඉඩ දෙන්න ඔවුන් තීරණය කළා. ඇයගේ හදවත, පෙනහළු ඇතුළු අවයව රැසක් තවත් රෝගීන් කිහිපදෙනෙකුට බද්ධ කරන්න සූදානම් කෙරුණා.
ඔබ කවදා හරි Honor Walk එකක් ගැන අහලා තියෙනවාද..? ඒක හරිම ආවේගශීලී, ඒ වගේම ගෞරවනීය මොහොතක්. අවයව දන් දෙන රෝගියෙක්ව අවසන් වරට සැත්කම් මේසය වෙත අරන් යනකොට, රෝහලේ වෛද්‍යවරු, හෙදියන් සහ කාර්ය මණ්ඩලය පෝලිම් ගැහිලා ගෞරව කරන එකට තමයි Honor Walk එකක් කියන්නේ.
කිම්බර්ගේ ගමනට ගෞරව කරන්න එදා UAB රෝහලේ කොරිඩෝවට සිය ගණනක් පිරිස් එකතු වුණා. ඇගේ පාසලේ යාළුවන්, ගුරුවරුන්, නෑදෑයන් විතරක් නෙවෙයි, ඇයව හඳුනන්නේ නැති නාඳුනන මිනිස්සු පවා ඒ කොරිඩෝවේ දෙපැත්තේ හිටගෙන හිටියා.
ඇයව ස්ට්‍රෙචර් එකක තියාගෙන ශල්‍යාගාරය වෙත රැගෙන යනකොට මුළු රෝහලම නිහඬයි. ඇසුණේ ඉකිබිඳින හඬවල් විතරයි. කිම්බර්ගේ රුව තියෙන පෝස්ටර්, බැලූන් සහ ඇය වෙනුවෙන් තියපු ලියුම් වලින් ඒ කොරිඩෝව පිරිලා තිබුණා. ඇය සැබෑ දේවදූතයෙක් වගේ ඒ මිනිස්සු මැදින් ඇගේ අවසන් මනුෂ්‍ය මෙහෙවර ඉටු කරන්න නික්මුණා.
කිම්බර් මියගියා. ඒත් ඇය ඇත්තටම මියගියාද..? නැහැ. ඇයගේ හදවත අද තවත් කෙනෙකුගේ පපුව ඇතුළේ ගැහෙනවා. ඇයගේ පෙනහළු වලින් තවත් කෙනෙක් අලුත් හුස්ම ගන්නවා. තවත් කෙනෙක් ඇගේ දෑස් වලින් අද මේ ලස්සන ලෝකය දකිනවා. කිම්බර් මේ ලෝකයෙන් සමුගත්තේ තවත් ජීවිත 5ක් හෝ 6ක් මේ පොළොවේ ඉතිරි කරලා.
අවුරුදු 18 ක් කියන්නේ ජීවිතය පටන් ගන්න වයසක්. ඒත් ඒ පොඩි වයසට ඇය ලෝකයට උගන්වපු පාඩම හරිම ලොකුයි.
මිත්‍රවරුනි අපි හැමෝම කවදා හරි දවසක මේ ලෝකයෙන් යන්න ඕනේ. අපි මැරුණට පස්සේ අපේ මේ ශරීරය එක්කෝ පස් වෙලා යනවා, නැත්නම් අළු වෙලා යනවා. ඒත් අපිට පුළුවන් නම් අපේ අවයව දන් දෙන්න, අපි මැරුණත් තවත් කෙනෙක් ජීවත් වේවි.
කිම්බර් මිල්ස්ගේ කතාව කියවලා අදටත් ඇලබාමා වල ගොඩක් දෙනෙක් අවයව දන් දෙන්න (Organ Donation) පෙළඹිලා තියෙනවා. ඇය මියගියත්, ඇය ආරම්භ කරපු ඒ වටිනා ආදර්ශය අදටත් ක්‍රියාත්මකයි.
අනතුරක් ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්. ඒත් ඒ අනතුරක් අස්සෙන් බලාපොරොත්තුවක් මතු කරගන්න එක තමයි මනුෂ්‍යත්වය කියන්නේ. කිම්බර්ගේ දෙමාපියන් එදා ගත්ත ඒ නිර්භීත තීරණය නිසා අද ලෝකයේ කොහේ හරි තැනක පවුල් කිහිපයක් සතුටින් ඉන්නවා ඇති.
සාමයෙන් සැතපේවා කිම්බර්… ඔබ සැබවින්ම දේවදූතයෙක්! 🕊️💔











