“අධ්‍යාපන ඇමතිකම දුන් නැති හින්දලු අලියා ගැන කතා කරන්නේ,
වැරැද්ද අම්මා තාත්තා කළත් වැරැදියි කියන්න කොන්ද තියෙන්න ඕනේ”
කාවන්තිස්ස ඇතා ගැන කතා කරපු තිස්ස ජනනායකට මරණ තර්ජන..
තමන්ට එල්ල වූ චෝදනාවලට දුන් අපූරු උත්තරය
කාවන්තිස්ස ඇතාගේ අවාසනාවන්ත මරණය සහ එහි සැබෑ වටිනාකම පිළිබඳව ප්‍රසිද්ධියේ හඬ නැඟීම නිසා ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතාට සහ ඔහුගේ මවට දැඩි අපහාස මෙන්ම දුරකථන ඇමතුම් හරහා මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වෙනවා.
රජය අපහසුතාවට පත්වන බව පවසමින් කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් තවදුරටත් කතා කිරීමෙන් වළකින ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වන බවයි ඔහු හෙළි කරන්නේ.
” කාවන්තිස්ස ඇතා ගැන කතා කරපු මට කෝල් කරලා මරණ තර්ජන කරනවා….අම්මාට කුණුහරුපෙන් බනිනවා…”
ජාත්‍යන්තර තක්සේරුවකට අනුව කාවන්තිස්ස ඇතාගේ වටිනාකම රුපියල් බිලියන 3.8ක් පමණ වන බව සිහිපත් කරන තිස්ස ජනනායක මහතා, මෙතරම් රටට විදේශ විනිමය ගෙන ආ වටිනා සතෙකුට අවමගුල් උත්සවයක්වත් නොමැතිව කෑලිවලට කපා වල දැමීම ජාතියක දැවැන්ත පිරිහීමක් බව දැඩි ලෙස අවධාරණය කරනවා.
“එයාට අවමගුල් උත්සවයක් තිබ්බද? නැහැ. බල්ලෙක්වත් අපි වල දානවද එහෙම? ගෙදර මැරුණු බල්ලා එහෙම වල දානවද කෑලිවලට කපලා? රජයෙකුට අවමගුල් උත්සවයක් කර නැති ජාතියක් පිරිහේ. එයා කොච්චර සල්ලි ගෙනැවිත් ඇද්ද මේ රටට.. එහෙම කෘතවේදී නැති ජාතියකට හරියන්නෑ..” යැයි ඔහු ඉතා හැඟුම්බරව ප්‍රකාශ කරනවා.
මේ අතර, තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබා නොදීම නිසා ඒ කෝපයට මෙම ඇතා ගැන කතා කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන කතා සම්පූර්ණයෙන්ම බැහැර කරන බව හෙතෙම සඳහන් කරනවා.
“මට පෞද්ගලිකව ප්‍රතිලාභයක් තියෙන දෙයක් ගැන මම කතා කරලා නැහැ. මම අධ්‍යාපන ඇමතිකම බලාපොරොත්තු වුණාලු, ඒක දුන්නේ නැති හින්දලු මේ අලියා ගැන කතා කරන්නේ. මම පක්ෂයක සාමාජිකයෙක්ද අධ්‍යාපන ඇමතිකම දෙන්න? මම ඡන්ද ඉල්ලුවාද? ඒ අධ්‍යාපන ඇමතිකම අනිත් අයට ලොකු ඇති, මට ලොකු නැහැ,” යැයි ඔහු පවසා සිටිනවා.
රටේ වැරදි සහ අඩුපාඩු පෙන්වා දෙන පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත ඉලක්ක කරගනිමින් මඩ ගැසීමෙන් රටක් ගොඩනැගිය නොහැකි බව පෙන්වා දුන් තිස්ස ජනනායක මහතා, වැරැද්ද කවුරු කළත් එය වැරැද්ද ලෙස පිළිගැනීමට තරම් කොන්ද පණ තිබිය යුතු බව පෙන්වා දෙනවා.
“ඔබ පුරුදු වෙන්න, වැරැද්ද තමන්ගේ අම්මා තාත්තා කළත් ඒක වැරදියි කියන තරම් කොන්ද පන තියෙන්න ඕනේ,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටිනවා. රටේ සම්පත් වෙනුවෙන් හඬ නගන පිරිසට තර්ජනය කරනු වෙනුවට, පෙන්වා දෙන අඩුපාඩු නිවැරදි කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි ඔහු අවසාන වශයෙන් අවධාරණය කරනවා.








