රෑට නිදාගන්නකොට ඔයත් මේක කරනවාද?
විද්‍යාඥයින් සොයාගත් මේ පුංචි වෙනස්කමෙන්
ඔබේ නින්ද සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්…
නින්ද යන්නෙ නැති උදවියට මෙන්න විසදුම
අපි හැමෝම දන්නා විදිහට නින්දට සහ අපේ සිරුරේ ජෛව ඔරලෝසුවට (Circadian Rhythm) ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ආලෝකයයි. ඒත්, ඒ මතය උඩුයටිකුරු කරමින් විද්‍යාඥයින් පිරිසක් දැන් පුදුම සහගත අනාවරණයක් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ආලෝකය තරමටම හෝ ඇතැම් විට එයටත් වඩා උෂ්ණත්වය අපේ නින්ද සහ සිරුරේ ක්‍රියාකාරිත්වය තීරණය කිරීමට මුල් වන බවයි…
මානව විද්‍යාඥ ගාන්ධි යෙතිෂ්ට තමන් කුඩා කාලයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ශීත ඍතුවේදී කාමරයේ ජනේලය විවෘත කර, සීතල වාතයෙන් මුහුණ සිසිල් කරගනිමින් ඉක්මනින් නිදිමත ලබාගත් අතීත මතකය අදටත් හොඳින් මතකයි. ඔහු ඒ දිනවල සිතුවේ එය තමන්ගේම පෞද්ගලික පුරුද්දක් පමණක් බවයි.
පසුව ඔහු බොලිවියාවේ ඇමසන් ප්‍රදේශයේ ‘චිමානි’ (Tsimane) ස්වදේශිකයන් මෙන්ම අප්‍රිකාවේ ‘හඩ්සා’ සහ ‘සැන්’ වැනි විදුලි පහසුකම් නොමැති ජන කණ්ඩායම් අධ්‍යයනය කිරීමේදී පුදුම සහගත කරුණක් සොයාගත්තා. ඒ, ඔවුන්ගේ නිදාගැනීමේ වේලාවන් ආලෝකයට වඩා පරිසරයේ උෂ්ණත්වය ඉහළ පහළ යාම සමඟ වෙනස් වන බවයි. “හිරු බැස යාම සහ හිරු උදාවීම වැදගත් වීමට හේතුව ආලෝකය කියලයි අපි හිතුවේ. හැබැයි උෂ්ණත්වයත් එන්නේ සූර්යයාගෙන්මයි,” යෙතිෂ් පවසයි.
අප නින්දට සූදානම් වන විට ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පමණ අඩුවන අතර, රාත්‍රිය පුරා එය ක්‍රමයෙන් පහළ යනවා. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ කාමරය ප්‍රමාණවත් තරම් සිසිල් නොවන විට මිනිසුන්ගේ නින්දේ කාලය අඩුවී නින්දට බාධා ඇති වන බවයි.
විශේෂයෙන්ම, සවස් කාලයේ සහ අලුයම පරිසරයේ උෂ්ණත්වය ස්වභාවිකව ඉහළ පහළ යන පරිසරයක නිදාගන්නා පුද්ගලයින්ගේ සිරුරේ ‘මෙලටොනින්’ (Melatonin) නම් නින්ද පාලනය කරන හෝමෝනය නිපදවීම ඉහළ යන බවත්, ඔවුන් උදෑසන වඩාත් ප්‍රබෝධමත්ව අවදි වන බවත් පර්යේෂකයින් සොයාගෙන තියෙනවා.
විද්‍යාඥයන් පවසන ආකාරයට, නූතන සමාජයේ අප දිවා කාලයේදීත් රාත්‍රියේදීත් එකම උෂ්ණත්වයක් පවත්වා ගන්නා නිවාසවල ජීවත්වීමට පුරුදු වීමම, අද දින බොහෝ දෙනෙක් මුහුණ දෙන ‘නින්ද නොයාමේ’ (Insomnia) ගැටලුවට ප්‍රධාන හේතුවක් විය හැක. අපූරුම කරුණ නම්, මෙම ස්වදේශික ජන කණ්ඩායම්වල භාෂාවන් තුළ ‘නින්ද නොයාම’ යන්න හැඳින්වීමට වචනයක්වත් නොමැති වීමයි….
“අපි පරිණාමය වූයේ යම් පරිසරයකටද, අපි දැන් ජීවත් වන්නේ ඒ පරිසරය තුළ නොවේ,” යනුවෙන් විශේෂඥයින් පෙන්වා දෙයි.
ඉතින්, අද රැයේ ඉඳන් ඔයත් කාමරේ ජනේලයක් පොඩි ඉඩකට විවෘත කරලා නිදාගන්න පුරුදු වෙන්න බලන්න. සමහරවිට ඔබේ නින්දේ ගැටලු වලටත් එය කදිම විසඳුමක් වේවි….
බිබිසී පුවත් සේවය ඇසුරෙන්








