🌸 කඨින චීවර පූජාවේ අනුසස් 🌸
කඨිනය පූජා කරන දායකයනට ද ලෞකික ලෝකෝත්තර උභය සම්පත්තිය ම ලබා ගත හැකි ය. නාගිතාපදානය දෙස විමසන විට එහි අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත එක් අත් බවෙක කඨිනයක් පූජා කොට ඒ ශ්‍රෙෂ්ඨ කුසලය අශ්‍රවක්ෂයකරඥානයට (අර්හත්මාර්ග ඥාණයට) උපනිඃශ්‍රය වේවා යි ප්‍රාර්ථනා කෙළේ ය. එවක් පටන් ඒ පිනින් සිවු අපායේ නො ඉපිද සදෙව් ලොව සහ මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන් හි දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ අවසානයේ ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි ව සිවු පිළිසිඹියාපත් මහරහත් බවට නාගිත හිමියෝ පැමිණියහ. උවසු උවැසියන් කඨින පින්කම් වලට විශේෂ සැලකිල්ලක් හා ගෞරයක් දක්වන්නේ මෙබඳු ආනිසංසයන් ලැබෙන නිසා ය. කඨින චීවරය පරිභෝග කරන භික්ෂුවට ලැබෙන ආනිසංස බස කඨිනයේ බලය නැති වූ අවස්ථාවේ නැති වී යාම භික්ෂූන් වහන්සේට පාඩුවක් වුවත් කඨිනය පූජා කළ දායක පක්ෂයට ලැබෙන ආනිසංසයනට එයින් කිසිඳු හානියක් සිදු නොවේ.
🌸 නාගිත චරිතාපදානය
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරැ වැඩ වසන කල්හි නාගිත නම් කුමරුවෙක් වැඩි වියට පැමිණ තමා විසින් පෙර අත් බවෙක පුදන ලද කඨින දානමය කුශල කර්මයෙන් මෙහෙයවනු ලැබ ඥාති මිත්‍රයන් සමග බුදුරදුන් වෙත අවුත් බුදුන් වැඳ දහම් අසා තෙරුවන් සරණ ගොස් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූයේ ය. නොබෝ කළකින් සිවු පිළිසිඹියා පත් මහරහත් බවට පත් විය. බුදුහු නාගිත රහත් හිමියන්ගේ විශේෂ කුශල කර්මය උන් වහන්සේ ලවා ම ප්‍රකාශ කරනු කැමැති ව වස් වසා අවසානයෙහි පවාරණය කොට අනඳ හිමියන් කැඳවා මෙසේ වදාළ හ. “ආනන්දය! අද අනවතප්ත විල් තෙරට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ පන්සියයක් රහතන් වහන්සේ රැස් කරව යි වදාළහ. අනඳ හිමියෝ බුදුරදුන් ගේ නියමය ඉටු කළහ. අනවතප්තවිල රහතන් වහන්සේලා ගේ කහවතින් බැබළුණි. අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිරිවරා වැඩහුන් මහා සංඝයා දෙස බලා මෙසේ වදාළ හ. “මහණෙනි, තොප අතුරෙන් පෙර ජාතියක බුදු පසේ බුදු මහරහතන් වහන්සේ උදෙසා විශේෂ කුශල කර්මයක් සිදු කළ භික්ෂුවක් සිටී නම් ඒ බව මෙහි දී ප්‍රකාශ කරව”යි වදාළ හ. එය ඇසූ ඒ පිරිසෙහි වැඩ සිටි නාගිත රහත් හිමියෝ බුදුරදුන් වෙත අවුත් වැඳ දොහොත් මුදුන් තබාගෙන තමන් විසින් සිදු කළ විශේෂ කුශලය බුදුන්ට මෙසේ විස්තර කළ හ.
“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම මෙයට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරදුන් ගේ කාලයෙහි බන්ධුමතී නුවර එක් කෙළෙඹි පුත්‍රයෙකු ව ඉපදීමි. දානපතියකු වූ මම දුගී මගී යාචකාදීන් විෂයයෙහි බොහෝ දානවස්තු පරිතයාග කෙළෙමි. අටවක් තුදුස්වක් පසළොස්වක් පොහෝ දිනවල පෙහෙවස් රැකීමි. එසේ ම පාටිහාරිය පක්ඛ උපෝසථය සමාදන් ව විසුවෙමි. (පටිහාරිය පක්ඛ උපෝසථය නම්, භික්ෂු සංඝයා වස් එළඹෙන තෙමස ඇතුළත අධිෂ්ඨාන කොට සමාදන් ව රක්නා අෂ්ටාංග ශීලය යි. එසේ තෙමස ම නො හැකි නම් පෙරවස් පවාරණය හා පසුවස් පවාරණය දක්වා ඇති මාසය තුළ අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි. එසේ නො හැකි නම් පෙරවස් පවාරණයේ සිට පසළොස් දිනක් අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි.)
දිනක් බන්ධුමතී නුවර රජු ඇතුළු මහ පිරිස් හට දහම් දෙසන විපස්සී සම්බුදුරජාණන් ගෙන් බණ අසා පැහැදී බුදු පාමොක් මහ සඟනට මහ දන් දුනිමි. පසු ව සංඝයාට ආරාධනා කොට වස් වසවා ගෙන සිවු මස මුළුල්ලෙහි සිවු පසයෙන් උවටැන් කෙළෙමි. අවසනා වස් විසූ භික්ෂූන් හට බොහෝ පරිෂ්කාර ඇති ව කඨින චීවර දානය පිරිනමා එයින් ලැබෙන කුශලය අශ්රවක්ෂයකර ඥානය පිණිස උපනිඃශ්‍රය වේවා’යි පැතීමි. එතැන් සිට කඨින චීවර දානමය කුශලයෙන් සිවු අපායෙන් මිදී සදෙව් ලොව හා මිනිස් ලොව ඉපිද අනේක විධ දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳුන ලද අයුරු මෙසේ ප්‍රකාශ කළ හ.
🌷උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයයෙහි කඨින චීවර දානයක් පූජා කොට මහා කල්ප තිසක් දුගතියක් නොම දනිමි. මේ කඨින දානයෙහි අනුසස යි.
🌷අටලොස් කල්පයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් ලවා වාසය කෙළෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජ ව ඉපිද දිව්‍ය රාජ්‍යය කෙළෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.
🌷එක ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් බැගින් සක්විති රජ වන්නෙට හේතු සම්පත් ඇත ද, සසර එපමණ බොහෝ කලක් නො සිටි හෙයින් සුවාසූ වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබීමි.
🌷උපනූපන් හැම තන්හි සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වූයෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.
🌷දිව්‍ය ගතිය මනුෂ්‍ය ගතිය යන මේ දෙගතිය හැර අනික් නරකාදී දුගතියක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.
🌷ක්ෂත්රිය බ්‍රාහ්මණ යන දෙකුලය හැර එයින් පහත් කුලයක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.
🌷චතුස්සාගර පර්‍ය්‍යන්ත වූ චක්‍රවාට පර්වතර ඇතුළත මුළු පොළොව සුදු පට පිළියෙන් වසන්නට පොහොසත් වීමි. මේ කඨින දානයෙහි අනුසස යි.
🌷බුද්ධ ධම්ම සංඝ යන තුණුරුවන් ගේ අර්හත්වය, නෛර්‍ය්‍යානිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂය ආශ්චර්‍ය්‍යය. මවිසින් එක් කඨින චීවරයක් දුන් විපාකයෙන් මේ සා මහත් සම්පත් ලබන ලද්දේ ය.
🌷එම කඨින චීවර දානමය කුශල චේතනාව හේතු කොටගෙන දෙව්ලොව උපන් කල්හි දෙවියන්ට ද මිනිස් ලොව උපන් කල්හි මිනිසුන්ට ද ප්‍රිය මනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුශල කර්මයෙන් නිවනට ද පැමිණියෙමි.
මෙසේ සඟ මැද හොබනා වූ ශාන්ත වූ ගුණ ඇති නාගිත ස්ථවිරයන් වහන්සේ අනොතත්ත මහවිල්හි දී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දාන සංඛ්‍යාත කුශල කර්මයා ගේ ඉෂ්ට විපාක විශේෂය ප්‍රකාශ කළ සේක.
(කඨින වංසය ඇසුරිනි)








