වසර 18කට පසු සිදුවන ඒ වෙනස ඔබේ ලග්නයට කෙසේ බලපාවිද ? හරියටම දැනගන්න

වසර 18කට පසු සිදුවන ඒ වෙනස ඔබේ ලග්නයට කෙසේ බලපාවිද ? හරියටම දැනගන්න

මීට ටික කාලයකට කලින් සිදුවුණු මේ වෙනසත් එක්ක ඔබේ ලග්නයට ඇති කරන්නේ මොන වගේ බලපෑමක්ද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

සැම විටම රාහුට සප්තමව එකම අංශකයක ගමන් ගන්නා කේතු ග්‍රහයාද වසර 18 පසු රාහු මෙන් වක්‍ර ගමනින් පසුගිය මැයි මස 18 වැනි ඉරිදා රාත්‍රී 7.35 ස්වකීය මූල ත්‍රිකෝණ රාශිය වන සිංහ රාශියට සැපත් විය.

මෙලෙස සිංහ රාශිගත වූ කේතු කේතුට සතුරු, සිකුරු, ශනි යන ග්‍රහයන්ගෙන්ද කේතුට මිත්‍ර මුත් නීච නිසා දුර්වල කුජ යන ග්‍රහන්ගෙන් පාප කර්තරීක යෝගයකට මැදිවීමත් කේතුට මිත්‍ර නමුත් සතුරු රාශිගතව දුර්වල වූ රවිගේ කේන්ද්‍ර දෘෂ්ටියට ලක්ව පිඩාවී සිටීම කේතු ග්‍රහයා පීඩාවට පත් කරන ග්‍රහබලපෑමකි.

එමෙන්ම කේතු, සඳු, බුධ යන ග්‍රහයන්ගේ රාශි දෘෂ්ටියට ලක්වීම ශුභ අශුභ මිශ්‍ර ඵල දානය කරන සම ඵලදායක ග්‍රහ බලපෑමකි. ඒ අනුව පොදුවේ ගත් කල කේතු ග්‍රහයාට ග්‍රහ බලපෑමට වඩා පාප බලපෑම වැඩිහෙයින් උප්පත්ති කේන්දරයේ කේතු නීච හෝ සතුරු රාශී ගතව හෝ කේතු හතට 1,2,4,5,7,8,9,10,12 යන භාවයක පතිතව පාප පීඩිතව ඇති දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාව අතුරු දශා ලබා ඇති ජන්මීන්ට මෙකී කෙහෙතා නොහොත් කේතු අපල විපත් ඇති කරන අතර සෙනසුරු ග්‍රහයා කේන්ද්‍ර කොටගෙන ඒරාෂ්ටක අපලයක් ලබා ඇත්නම් මෙකී අපල තත්ත්වය වඩාත් තීව්‍ර වන්නේය. අනෙක් අතට කේතු ග්‍රහයා උත්පත්ති කේන්දරයේ කේතුට ශුභ ඵල දෙන 3,6,11 වන රාශිය හෝ 1,5,9 යන රැසක ඥානකාරක බලවත්, බුධ, ගුරු යන ඥාන ග්‍රහයන් සමඟ යෝගව ඇති දැනට කේතුට මිත්‍ර චන්ද්‍ර, කුජ, ගුරු හෝ කේතුට සම රවි, බුධ, රාහු යන ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා හෝ කේතුට අයත් මහ දශා අන්තර් දශා ලබා ඇත්නම් ශුභඵල ඇති කරන අතර ලග්නය හෝ සඳු කේන්ද්‍ර කොටගෙන ඒරාෂ්ටක අපලයක යෙදී ඇත්නම් ශුභ අශුභ මිශ්‍ර සමඵලයක් ඇති කරන්නේය.

කේතු ග්‍රහයාගේ මෙකී සිංහ රාශි ගමන ගැන තවදුරටත් කරුණු විමසා බලන කල කේතු ග්‍රහයා ඉහත කී ආකාරයට ලග්න කේන්දරයෙහි අශුභව පිහිටා ඇති ජන්මීන් ගේ උත්පත්ති චන්ද්‍රයාගෙන් 1,2,4,5,7,8,9,10,12 යන භාවයක මෙකී කේතු ගෝචරය වන්නේ නම් දැඩි අශුභ ඵල විපාක ලැබෙන අතර 3,6,11 යන භාවයක ගෝචර වන්නේ නම් ශුභ අශුභ මිශ්‍ර සමඵලයක් ලැබෙන්නේය. එමෙන්ම උත්පත්ති කේන්දරයේ ඉහත විග්‍රහ කළ පරිදි කේතු ග්‍රහයා සුබව පිහිටි ජන්මීන්ට ගෝචර කේතු ජන්ම සඳුගෙන් 3,6,11 යන භාවයක ගෝචරය වන්නේ නම් උසස් ශුභ ඵලයකුත් මෙකී භාවයක් හැර අන්‍යභාවයක ගෝචරය වන්නේ නම් ශුභ හෝ ශුභ අශුභ මිශ්‍ර සමඵලයක් ලැබෙන්නේය.

ඉහත විග්‍රහ කළ පරිදි කේතු ග්‍රහයා උත්පත්ති කේන්දරයේ දුර්වලව පිහිටා ඇති ජන්මීන්ට කේතු ග්‍රහයා අයත් මහ දශාවක් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් හෝ කේතු ග්‍රහයාට අයත් මහ දශාවත් සමඟ කේතුට සතුරු සෙනසුරු, සිකුරු අතුරු දශාවක් හෝ සිකුරු සෙනසුරුට අයත් මහ දශාවක් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් ලබා ඇති විටකදී සෙනසුරු ග්‍රහයා මුල් කරගෙන ඒරාෂ්ටක අපලයක් යෙදී ඇත්නම් එවැන්නට කේතුගේ අපලය තදින්ම ක්‍රියාත්මක වන අතර ඔවුන් රාජදඬුවම්වලට හසුවීම, තරග විභාවලින් පරාජයවීම, රැකිරක්ෂා නිලතල, බලතල අහිමිවීම කුඩා දරුවන්ට කක්කල්කැස්ස, ග්‍රහණිය, මාන්දම, තරුණියන්ට ඔසප්රෝග, කිළිමාලය, ඇඟඋණු කරවා යාම, වැඩිහිටියන්ගේ උදරය මහත්වීම වණ පිළිකා, දද, කුෂ්ඨ හොරි, පරංගි පාණ්ඩු, අපස්මාරය, දරුණු වාත රෝග, යක්ෂ ප්‍රේත දෝෂ වැනි අපල උපද්‍රවයන් ඇති වන හෙයින් ඔවුන් හොර මැර වංචනික ක්‍රියා ආදියෙන් වැළකී ආගමික ජීවිතයක් ගත කළ යුතුය.

ලග්න කේන්දරයේ සඳු, කුජ ගුරු ග්‍රහයකු උප්පත්තියේදී බලවත්ව යෙදී ඇත්නම්, අපලයට පිළියමක් ලෙස සඳු බලවත් නම් මුතු ඇටයක් ඇල්ලූ රිදී මුදුවක්ද, කුජ බලවත් නම් රතු කැටයක් ඇල්ලූ රන් මුදුවක්ද ගුරු බලවත් නම් පුෂ්පරාග ගලක් ඇල්ලූ රන් මුදුවක් පැලඳීම හෝ ආඝෝරය මංඩල සීලම්බරය, නව ග්‍රහ මණ්ඩලය, ස්කන්ධ කුමාර යන්ත්‍රය යන යන්ත්‍රයක් පස්ලෝ හෝ තඹ පත්‍රයක ලියා පැලඳීම ශුභය. ඒ හැර කේතු අපලයේදී යක්ෂයන් ප්‍රේතයන්ගෙන් වන අපල උපද්‍රව සඳහා යක්ෂයන්ට, ප්‍රේතයන්ට දාන පින් අනුමෝදන් කරවීම කරණීය මෙත්ත සූත්‍රය දිනපතා කීම, නිවෙසේදී මළගිය අයට පින්දීමෙන් වැළැකීම නිතර පිරිත් ඇසීම, නවග්‍රහ පූජා තැබීම, බෝධි පූජාව තැබීම කළ යුතුය. එමෙන්ම නිවෙසේ වයඹ පැත්තේ වැවෙන කෙසෙල් වෘක්ෂයකට සාත්තු සප්පායම් කිරීමද, කේතු අපලය සඳහා කළ හැකි තවත් කිසිදු මුදලක් වැය නොවන ශාන්ති කර්මයකි. කේතු අපලයේදී කළුවස්ත්‍ර ඇඳීම , ගොම්මන් වැටෙන වේලාවේදී රාත්‍රී කාලයේදී කැලෑවල වතුවල පාළු තැන්වල ඇවිදීම කළුවර කාමරවල තනිවම නිදා ගැනීම අශුභය. මන්දයත් ප්‍රේත, යක්ෂ, දෝෂ ඇති විය හැකි හෙයිනි. එමෙන්ම පහත් ලෙස සැලකෙන ජනයා ආශ්‍රයෙන් වැළකිය යුතුය.

එහෙත් ඉහත විග්‍රහ කළ පරිදි උප්පත්ති කේන්දරයේ කේතු බලවත්ව යෙදී ඇති ජන්මීන්ට දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් සමඟ කේතු කුජ, චන්ද්‍ර, ගුරු යන අතුරු දශා ලබා ඇති නම් හෝ චන්ද්‍ර, කුජ, ගුරු යන ග්‍රහයකුගේ මහ දශාවත් සමඟ කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් ලබා ඇත්නම් සහ දැනට කේතු ගෝචරය වන සිංහය ජන්ම සඳුගෙන් 3,6,11,1,5,9 යන ත්‍රිකෝණයකට වැටේ නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන්ට හස්ත ශාස්ත්‍රය, පේනකීම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වැනි ගුප්ත ශාස්ත්‍ර කටයුතුවල යෙදෙන ජන්මීන්ට, ආගමික කටයුතුවල යෙදෙන පූජක, පැවිදි පුද්ගලයන්ට වෙනදාට වඩා එකී කටයුතුවල දියුණුවක් මූල්‍ය ලාභ ද්‍රව්‍ය ලාභ ලැබීමත් ඇති වන්නේය.

 

මේෂ ලග්නය

මේෂ ලග්න හිමියාගේ ලග්නාධිපති අඟහරුට මිත්‍ර ග්‍රහයකු වන කේතු 5 වැන්න වූ සිංහ රාශියේ මුල ත්‍රිකෝණ බලය ලබමින් ගමන් ගැනීම ශුභ වන්නේ ඉහත විග්‍රහ කළ පරිදි කේතු ග්‍රහයා උත්පත්තියේදී බලවත්ව පිහිටා ඇති දැනට මෙකී කේතු ගෝචරය වන සිංහ රාශිය ජන්ම සඳුගෙන් 3,11 යන භාවයක හෝ 1,5,9 යන ත්‍රිකෝණ භාවයකට වැටේනම් සහ දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් සමඟ සඳු, කුජ, ගුරු, කේතු යන ග්‍රහයන්ට අයත් අන්තර් දශාවක් හෝ සඳු, කුජ, ගුරු යන ග්‍රහයන්ට අයත් මහ දශාවත් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් ලබා ඇති ජන්මීන්ටය. එවන් ග්‍රහ ගෝචරයක් ඇති මේෂ ලග්න ජන්මීන්ට ගුප්ත විද්‍යාව, පරිගණක රැකියා ව්‍යාපාර කටයුතුවලින් ධන ලාභ දීමට මෙකී සිංහ රාශියෙහි ගෝචරය වන කේතු කටයුතු කරන අතර එකී විෂයයන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම අංශවලින් උසස් දැනුමක් ලබා ගැනීමටත් එකී අංශවලට අයත් තරග විභාගවලින් උසස් සාමාර්ථ්‍යයන් ලබාදීමට කේතු ග්‍රහයා කටයුතු කරනු ඇත. එනමුත් උප්පත්තියේදී කේතු ග්‍රහයා ඉහත විග්‍රහ කළ පරිදි දුර්වලව පිහිටා ඇති ජන්මීන්ට දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් සමඟ සිකුරු ශනි රාහු යන අතුරු දශාවක් හෝ සිකුරු , ශනි, රාහු මහ දශාවක් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් ඒරාෂ්ටක අපලයක් සමඟ ලබා ඇත්නම් ඉහත කී කටයුතු සම්බන්ධයෙන් අශුභඵල විපාක ඇති වන අතර අමනුෂ්‍ය දෝෂ, හෘද රෝග, (හෘද වස්තුව දුර්වල වීම) ආමාශ රෝග ඇති කරන්නේය.

 

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයේ ලග්නාධිපති සිකුරුට සතුරු ග්‍රහයකු වන කේතු ග්‍රහයා අශුභඵල දෙන භාවයක් වන සිව්වැන්න වූ සිංහ රාශියට පැමිණීම, වෘෂභ ලග්න හිමියන්ට එනම් ශුභඵල දෙන ග්‍රහ ගෝචරයක් නොවේ. විශේෂයෙන්ම දැනට ඒරාෂ්ටක අපල ලබා ඇති කේතු ගෝචරය වන සිංහය ජන්ම සඳුගෙන් 3,6,11 හැර අන්‍ය භාවයකට වැටී උත්පත්තියේ කේතු ග්‍රහයා ලග්න කේන්දරයෙහි දුර්වල පිහිටා ඇති දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් හෝ සිකුරු ශනි, රාහු යන ග්‍රහයන්ට අයත් අතුරු දශා හෝ සිකුරු, ශනි, රාහු යන ග්‍රහයන්ට අයත් මහ දශාවක් සමඟ කේතු අතුරු දශාවක් ලබා ඇති වෘෂභ ලග්න ජන්මීන්ට වෛයිරස් රෝග රුධිරය සම්බන්ධ රෝගාබාධ, චර්ම රෝග මළගිය අයකු නිසා නිවෙසේ ප්‍රේත දෝෂ ඇතිවීම යනාදි අශුභඵල ඇති විය හැකි හෙයිනි. එනමුත් උත්පත්ති කේන්දරයේ කේතු බලවත්ව පිහිටා ඇති කේතු ගෝචරය වන සිංහ රාශිය ජන්ම සඳුගෙන් 3,6,11 යන භාවයකට වැටී ඇති දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් හෝ කේතුට මිශ්‍ර සඳු, කුජ ගුරු අතුරු දශාවක් ලබා ඇති ජන්මීන්ට ඒරාෂ්ටක අපල නොමැතිනම් ඉහත සඳහන් කළ අපල විපත් ඇති නොවන අතර නිවෙසේ සිට කරන ගුප්ත විද්‍යා කටයුතුවලින් පරිගණක සම්බන්ධ රැකියා කටයුතු වලින් දියුණුවත්, ආදායම් ලැබීමත් ඇති වන්නේය.

 

මිථුන ලග්නය

මිථුන ලග්න කේන්දරයේ ලග්නාධිපතිට සම ග්‍රහයකු වන කේතු මිථුන ලග්නයෙන් උපචය භාවයක් වන 3 වැන්න වූ සිංහ රාශියට පැමිණීම දැනට කේතු මහ දශා අන්තර් දශා ලබා ඇති මිථුන ලග්න හිමියන්ට ශුභ ඵල ගෙන දෙන ග්‍රහ ගමනක් වන අතර මෙකී සිංහ රාශියෙහි ගෝචරය වන කේතු ග්‍රහයාගෙන් උසස් ශුභඵල ලැබීමට නම් මෙකී කේතු ගෝචරය වන සිංහ රැස ජන්ම සඳුගෙන් 3,6,11 යන භාවයකට වැටිය යුතු අතර කේතු මහ දශාවක් සමඟ කේතු, සඳු, කුජ, ගුරු යන ග්‍රහයන්ට අයත් අතුරු දශාවක් ලබා තිබිය යුතුය. එවන් ග්‍රහ පිහිටීමක් ඇති මිථුන ලග්න හිමියන්ට යන්ත්‍ර මන්ත්‍ර අංජනම් බලි බැලීම, තත්කාලයෙන් ශාස්ත්‍ර කියන ගුප්ත ශාස්ත්‍රඥයන්ට, පරිගණක ආශ්‍රිත රැකියා කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට වෙනදාට වඩා තම වෘත්තිය කටයුතුවල දියුණුවක් ආදායම් ලැබීමක් ඇති වන්නේය. එහෙත් උත්පත්තියේ කේතු දුර්වල පිහිටා ඇති ගෝචර කේතු ජන්ම සඳුගෙන් 3,6,11 හැර අන්‍ය භාවයක ගමන් ගන්නා ඒරාෂ්ටක අපල ඇති දැනට කේතු ග්‍රහයාගේ මහ දශාවක් සමඟ සිකුරු ශනි, රාහු යනාදී ග්‍රහයෙක්ට අයත් අතුරු දශාවක් ලබා ඇති මිථුන ලග්න හිමියන්ට ඉහත සඳහන් කළ කටයුතු සම්බන්ධ අශුභ ඵල ලැබෙන අතර ශාරීරීක වශයෙන් උගුර ආශ්‍රිත වෛයිරස්, චර්ම රෝග ඇති වන්නේය.

 

කටක ලග්නය

කටක ලග්න හිමියාගේ ලග්නාධිපති සඳුට මිත්‍ර ග්‍රහයකු වන කේතු 2 වැන්න වූ සිංහ රැසෙහි ගමන් ගැනීම, කේතු මහ දශා අන්තර් දශා ලබා ඇති කටක ලග්න ජන්මීන් ශුභඵල ලැබෙන්නේ උප්පත්ති කේන්දරයේ කේතු ග්‍රහයා බලවත්ව යෙදී ඇති දැනට කේතු ග්‍රහයා ගෝචරය වන සිංහ රැස ජන්ම සඳුගෙන් 3,6,11 යන භාවයක වැටී ඇති කේතු ග්‍රහයගේ මහ දශාවක් සමඟ කේතුගේ චන්ද්‍ර, කුජ ගුරු යන ග්‍රහයන්ගේ අතුරු දශාවක් හෝ චන්ද්‍ර, කුජ ගුරු යන ග්‍රහයන්ට අයත් මහ දශාවක් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් ලබා ඇති ජන්මීන්ටය. එවන් ග්‍රහ බලපෑමක් ඇති කටක ලග්න ජන්මීන්ට ගුප්ත විද්‍යා කටයුතු, පරිගණක සම්බන්ධ රැකියා ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා තැන්පත් ධනය වර්ධනය වීමක් ඇති කරන්නේ ය. ඒ නමුත් උප්පත්ති කේන්දරයේ කේතු දුර්වලව පිහිටා ඇති ඒරාෂ්ටක අපල ලබා ඇති ගෝචර කේතු ජන්ම සඳුගෙන් 3,6,11 හැර අන්‍ය භාවයකට වැටී ඇති කේතු මහ දශාවක් සමඟ කේතු සිකුරු ශනි රාහු යන අන්තර් දශාවක් හෝ සිකුරු, ශනි, රාහු මහ දශා සමඟ කේතු අතුරු දශා ලබා ඇති කටක ලග්න හිමියන්ට ඉහත සඳහන් කළ රැකියා ව්‍යාපාර කටයුතුවලින් අලාභ, පාඩු සිදුවන අතර තැන්පත් ධනය නැති නාස්ති වීම හේතු කොට ගෙන පවුලේ අඟහිඟකම් ඇති විය හැකිය. ශාරීරික වශයෙන් ඇස් රෝග, මුඛ ආශ්‍රිත වෛයිරස් රෝග පිළිකා රෝග ඇති විය හැකිය

 

සිංහ ලග්නය

සිංහ ලග්නයේ ලග්නාධිපති රවිට කේතු මිත්‍ර ග්‍රහයෙකි. එහෙයින් කේතු ලග්නයේ මුල ත්‍රිකෝණ බලය ලබා ලග්නයේ ගමන් ගැනීම උත්පත්ති කේන්දරයේ කේතු ග්‍රහයා බුධ, ගුරු යන ඤාණකාරක ග්‍රහයන් සමඟ 1,5,9 යන ත්‍රිකෝණ භාවයක පිහිටා ඇති දැනට කේතු, ග්‍රහයාට අයත් මහ දශා අන්තර් දශා ලබා ඇති සිංහ ලග්නයෙන් උපන් බුද්ධිමතුන්ට සුබ පල ගෙන දෙන ග්‍රහ ගෝචරයක් වන්නේය. ඒ නුව බුධ, කේතු, හෝ ගුරු, කේතු යන ද්විත්ව ග්‍රහ යෝගයක් හෝ බුධ, ගුරු, කේතු යන ත්‍රිග්‍රහයෝගයක් 1,5,9 යන ත්‍රිකෝණ භාවයක පිහිටා ඇති සිංහ ලග්න හිමියන්ට ස්වකීය උගත්කම දැනුම හේතු කොට ගෙන සම්මාන සහතික මෙන් මිල, මුදල් ධනය ලබා දීමට ලග්නාධිපති ගෝචරය වන බලවත් කේතු කටයුතු යොදනු ඇත. ඒ හැර ගෝචර කේතු උත්පත්ති සඳුගෙන් 3,6,11 යන භාවයක ගමන් කරන දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාවත් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් හෝ රවි බුධ, කුජ ගුරු, යන ග්‍රහයන්ට අයත් අතුරු දශා ලබා ඇති සිංහ ලග්න හිමියන්ට විවිධ අංශයන්ගෙන් ශුභඵල ලැබෙන්නේය. ඒ නමුත් උප්පත්ති කේන්දරයේ කේතු ග්‍රහයා දුර්වලව පිහිටා ඇති දැනට සිකුරු, ශනි, රාහු මහ දශාවත් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් හෝ සිකුරු ශනි රාහු යන ග්‍රහයන්ට අයත් මහ දශාවත් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් ලබා ඇති ගෝචර කේතු ජන්ම සඳුගෙන් 1,2,4,5,7,8,9,10,12 යන භාවයක ගමන් ගන්නා ජන්මීන්ට සොර සතුරන්ගෙන් කරදර හිරිහැර ධනහානි, ශාරීරික වශයෙන් චර්ම රෝග අස්ථි රෝග, හෘද රෝග, ඇස් රෝග ඇති විය හැකිය.

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධට කේතු සම ග්‍රහයෙකි. මෙකී කේතු 12 වැන්න වූ සිංහ රැසෙහි ගමන් ගැනීම දැනට කේතු මහ දශා අන්තර් දශා ලබා ඇති උප්පත්ති කේන්දරයේ කේතු බලවත් පිහිටා පිහිටා ඇති මෙකී ගෝචර කේතු උත්පත්ති සඳුගෙන් 3,6,11 යන ගමන් ගන්නා කන්‍යා ලග්න ජන්මීන්ට ශුභඵල ගෙන දෙන ග්‍රහ ගමනෙකි. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති කන්‍යා ලග්න හිමියන්ගේ විය හියදම් අඩු මුදල් ඉතිරි කිරීමට මෙකී 12 වැන්නේ ගෝචරය වන කේතු කටයුතු සලසන අතර වෙනදාට වඩා පින් දහම් කෙරෙහිත් විවිධ වූ ගුප්ත ශාස්ත්‍රයන් හැදෑරීම කෙරෙහිත් ජන්මියාගේ සිත යොමු කරන්නේය. ඒ අනුව ඉහත විග්‍රහ කළ පරිදි කේතු මහ දශා සමඟ කේතුගේ අතුරු දශාවක් ලබා ඇති කන්‍යා ලග්න හිමියන්ට මෙන්ම සඳු, කුජ, ගුරු යන ග්‍රහයන්ට අයත් මහ දශාවක් සමඟ කේතු අතුරු දශාවක් ලබා ඇති කන්‍යා ලග්න හිමියන්ට කෙහෙතා බොහෝ ශුභඵල උදා කරන නමුත් උත්පත්ති කේන්දරයෙහි කේතු දුර්වලව පිහිටා ඇති, දැනට ඒරාෂ්ටක අපල ලබා ඇති කේතු ගෝචරය වන 12වැන්න ජන්ම සඳුගෙන් 3,6,11 යන භාව හැර අන්‍ය භාවයකට වැටී ඇති දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාවත් සමඟ කේතුගේ අතුරු දශාවක් හෝ සිකුරු, ශනි, රාහු යන ග්‍රහයන් අයත් අතුරු දශා ලබා ඇති කන්‍යා ලග්න හිමියන්ට ප්‍රේතදෝෂ, නින්ද අඩුකම, උදර රෝග, ඇස් රෝග ඇති කරන අතර, ධන හානි ඇති කරන්නේය.

 

තුලා ලග්නය

තුලා ලග්න හිමියාගේ ලග්නාධිපතිට කේතු සතුරු ග්‍රහයකු වන මුත් උපචය භාවයක් වන 11 වැන්නේ ගමන් කිරීම, ශුභ ඵල දෙන ග්‍රහ ගෝචරයක් වන්නේ, කේතු ගමන් ගන්නා සිංහ රැස උප්පත්ති සඳුගෙන්ද 3,6,11 යන භාවයකට වැටුණහොත් සහ දැන් කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් හෝ කේතුට මිත්‍ර, සඳු, කුජ, ගුරු යන ග්‍රහයන් අයත් අතුරු දශා ලබා ඇත්නම් පමණි. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීක් ඇති තුලා ලග්න හිමියන්ට රැකියා ව්‍යාපාර කටයුතුවලින් ධනලාභ ඇති කරයි. මීට ප්‍රතිවිරුද්ධ ලෙස එනම් කේතු උත්පත්තියේදි දුර්වලව පිහිටා ඇත්නම් සහ දැනට ඒරාෂ්ටක අපල ලබා ඇත්නම් ගෝචර කේතු උප්පත්ති සඳුගෙන් (ඉහත විග්‍රහ කළ පරිදි අශුභ භාවයකට වැටී ඇත්නම්) කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් සමඟ කේතු ග්‍රහයාට අයත් අතුරු දශාවක් හෝ සිකුරු ශනි, රාහු යන ග්‍රහයන් අයත් අතුරු දශා ලබා ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති තුලා ලග්න ජන්මින්ට ඉහත විග්‍රහ කළ කටයුතු සම්බන්ධයෙන් අශුභඵල විපාක ඇති කරන අතර පහත් මිතුරන් සහ ස්ත්‍රින් ඇසුර නිසා ධන හානි ඇති වන අතර ශාරීරික ලිංග ආශ්‍රිත රෝග සමාජ රෝග, හෘද රෝග වැනි රෝග වැලදීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකිය.

 

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයේ ලග්නාධිපතිට මිත්‍ර ග්‍රහයකු වන කේතු 10 වැන්න වූ සිංහ රැසෙහි ගමන් කිරීම ශුභ වන්නේ උප්පත්ති කේන්දරයේ කේතු ග්‍රහයා බලවත්ව යෙදී ඇති 10 වැන්නෙහි ගමන් ගන්නා කේතු ජන්ම සඳුගෙන් 3,6,11 යන භාවයක ගෝචරය වන දැනට කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් සමඟ කේතු චන්ද්‍ර, කුජ ගුරු යන අතුරු දශාව ලබා ඇති ජන්මීන්ටය. එවන් ග්‍රහ පිහිටීමක් ඇති වෘශ්චික ලග්න හිමි ගුප්ත විද්‍යා රැකියා කටයුතුවල යෙදෙන එමෙන්ම පරිගණක අංශයේ විවිධ නිලතල බලතල දරන ජන්මීන්ට ස්වකීය රැකිරක්ෂා කටයුතුවල දියුණුවක් ඇති කරන්නේය. ඉහත ලග්නවලට විග්‍රහ කළ පරිදි කේතු ග්‍රහයා දුර්වලව පිහිටා ඇති වෘශ්චික ලග්න හිමියන්ට, රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අශුභඵල විපාක ඇති කරනු අතර ශාරීරික වශයෙන් දණහිස් සම්බන්ධ රෝග අස්ථි රෝග ඇති කරන්නේය.

 

ධනු ලග්නය

ධනු ලග්න කේන්දරයේ ලග්නාධිපති ගුරුට මිත්‍ර ග්‍රහයෙක් වන්නේය. ධනු ලග්නයෙන් 9 වැන්න වූ සිංහ රැසෙහි මුල ත්‍රිකෝණ බලයෙන් යුතුව ගමන් ගැනීම ශුභ වන්නේ කේතු ග්‍රහයා උත්පත්ති කේන්දරයේ බලවත්ව පිහිටා ඇති මෙකි සිංහ රැසෙහි ගමන් ගන්නා කේතු ජන්ම සඳුගෙන් 3,6,11 යන භාවයක හෝ 1,5,9 යන භාවයක (එනම් උප්පත්ති කේන්දරයේ 1,5,9 යන භාවයකට බුධ, කේතු හෝ ගුරු, කේතු හෝ බුද, ගුරු, කේතු යන ග්‍රහ සංයෝගයක් හෝ ත්‍රිග්‍රහයෝගයක් ඇති ජන්මීන්ට) ගෝචරය වන දැනට කේතු ග්‍රහයාගේ මහ දශාවක් සමඟ සඳු, බුධ, කුජ, ගුරු, කේතු යන අතුරු දශාවත් ලබා ඇති ජන්මීන්ටය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති ධනු ලග්න ආගමික නායකයන්ට, ගුප්ත විද්‍යාව සහ අනෙකුත්, විෂයන් පිළිබඳව මනා දැනීමක් ඇති පඬිවරුන්ට තම දැනුම, බුද්ධිය, කරන කොටගෙන සම්මාන සහතික, ධන ලාභ ද්‍රව්‍ය ලාභ ලැබෙන්නේය.

මීට පරිබාහිරව එනම් අන් ලග්නවලට සඳහන් කළ පරිදි කේතු ග්‍රහයා අශුභව යෙදී ඇති ධනු ලග්න හිමියන්ට ස්වකීය අයහපත් කපටි අදූරදර්ශී ක්‍රියා කලාපය හේතු කොට ගෙන අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම, භාග්‍යස්ථානය වන 9 වැන්න වූ සිංහ පීඩාවන හෙයින් වෙනදාට වඩා ආර්ථික ප්‍රශ්න ඇතිවීම, ශාරීරික වශයෙන් උදර රෝග, හෘද රෝග, ඇතවීම වැනි අශුභඵල ඇතිවිය හැකිය.

 

මකර ලග්නය

මකර ලග්න ජන්මින්ගේ ලග්නාධිපති සෙනසුරුට සතුරු ග්‍රහයකු වන කේතු මාරක භාවයක් වන 8 වැන්නෙහි ගමන් කිරීම එතරම් ශුභ ඵල උදා කරන ග්‍රහ බලයෙන් නොවේ. විශේෂයෙන්ම උත්පත්ති කේන්දරයේ කේතු ග්‍රහයා දුර්වලව පිහිටා ඇති ගෝචර කේතු ජන්ම සඳුගෙන් 3,6,11 යන භාව හැර අන්‍ය භාවවල ගෝචරය වන, දැනට කේතු ග්‍රහයාගේ මහ දශාවක් සමඟ සිකුරු ශනි, රාහු, කේතු අතුරු දශා ලබා ඇති මකර ලග්න හිමියන්ට තැන්පත් ධනය හානි වීම පිළිකා , වෛයිරස් රෝග, ලිංගේන්ද්‍රිය සම්බන්ධ, රෝග මූත්‍රාරෝග, රැකිරක්ෂා කටයුතු අහිමිවීම, අමනුෂ්‍ය දෝෂ, ප්‍රේත දෝෂ වැනි අපල උපද්‍රවයන් ඇතිවේ. මීට පරිබාහිරව එනම් අන්‍ය ලග්නවලට සඳහන් කළ පරිදි කේතු ග්‍රහයා උප්පත්ති කේන්දරයේ බලවත් යෙදී ඇත්නම් එවන් ග්‍රහ බලයෙන් ඇති මකර ලග්න හිමියන්ට ගුප්ත විද්‍යා කටයුතුවලින් ධනය ලැබීම කෙනෙකුගේ මරණය නිසා මූල්‍ය ලාභ හෝ ද්‍රව්‍ය ලාභ ලැබීම වැනි ශුභ ඵල ඇති විය හැකිය.

 

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියාගේ ලග්නාධිපති සෙනසුරු කේතුට සතුරු ග්‍රහයකු වන මුත් 7 වැන්න වූ සිංහ රාශියේ මූල ත්‍රිකෝණ බලයෙන් යුතුව ගමන් ගැනීම කුම්භ ලග්න හිමියන්ගේ විවාහය, හවුල් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ශුභ ඵල දෙන ග්‍රහබලයක් වන්නේය. ඒ අනුව ඉහත අන්‍ය ලග්නවලට විග්‍රහ කළ පරිදි කේතු ග්‍රහයා උත්පත්තියේදී බලවත්ව සිටියදී හෝ ගෝචර ගමනින් සිටියදී කේතු ග්‍රහයාගේ මහ දශාවත් සමඟ රවි, සඳු, කුජ, ගුරු, කේතු යන ග්‍රහයන්ට අයත් අතුරු දශාවක් ලබා ඇත්නම්, ලග්න කේන්දරයේ 7 වැන්නාධිපති රවි උප්පත්තියේ ශුභ භාවයන් බලවත්ව යෙදී ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති කුම්භ ලග්න ජන්මීන්ට අන්‍ය ජාතිකයින් විවාහයන් සිදුවීමටත්, අන්‍ය ජාතිකයින් සමඟ හවුල් ව්‍යාපාර කටයුතු ඇතිවීමටත් ද්‍රවිඩ ජාතිකයන් සිටින ඉන්දියාව වැනි රටවල්වල සංචාරය කිරීමත් කටයුතු යෙදෙන්නේය. මීට පරිබාහිරව එනම් උත්පත්ති කේන්දරයේ කේතු දුර්වල නම් ඒරාෂ්ටක අපල ඇති නම් එමෙන්ම 7 වැන්නාධිපති රවිත් දුර්වල නම් හවුලේ කරන කටයුතු අසාර්ථකවීම යුග ජීවිතයේ ප්‍රශ්න යුග ජීවිතය බිඳවැටීම, ලිංගික බෙලහීනතාවය, මුත්‍රරෝග ඇති වීම වැනි අශුභඵල විපාක ඇතිවිය හැකිය.

 

මීන ලග්නය

මීන ලග්නයට කේතු මිත්‍ර ග්‍රහයෙකි. මෙකී කේතු උපචය භාවයක් වන 6 වැන්න වූ සිංහ රැසට පැමිණීම පොදුවේ ගත් කල මීන ලග්න ජන්මීන්ට ශුභඵල ගෙන දෙන ග්‍රහ ගමනකි. එහෙත් මින් පූර්ණ ශුභඵලයක් ලැබීමට නම් මීන ලග්න හිමියන්ගේ උප්පත්ති සඳුගෙන් 3,6,11 යන භාවයක මෙකී කේතු ග්‍රහයා ගෝචරය සිදුවිය යුතු අතර කේතු මහ දශාවක් සමඟ රවි, සඳු, කුජ, ගුරු කේතු යන ග්‍රහයන්ට අයත් අතුරු දශාවක් ලබා තිබිය යුතුය. එවන් ග්‍රහ බලයක් ඇති මීන ලග්න හිමියන් මෙකී කේතු ග්‍රහයා ගේ සිංහ රාශි ගමනින් උසස් ශුභ ඵල ලැබෙන අතර ඒ අනුව ඔවුන්ගේ රැකිරක්ෂා කටයුතු සාර්ථක වන අතර සාර්ථක තත්ත්වය යහපත් අතට හැරේ. සතුරු ප්‍රශ්න නඩුහබවලින් ජය ලැබෙයි. ශාරීරික වශයෙන් ගත් කල කලක් පීඩා වින්ද රෝගවලින් සුවය ලැබෙයි.

එහෙත් උත්පත්ති කේන්දරයේ කේතු දුර්වල පිහිටා ඇති දැනට සඳු ග්‍රහයා මුල් කරගෙන ඒරාෂ්ටක අපල යෙදී ඇති අන්‍ය ලග්නවලට සඳහන් කළ පරිදි කේතු ග්‍රහයාගේ මහ දශාවක් සමඟ කේතුට සතුරු සිකුරු ශනි, රාහු යන ග්‍රහයන්ගේ අතුරු දශා ලබා ඇති ජන්මීන්ට ඉහත සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් අශුභ ඵල ලැබිය හැකිය.

සුබසෙත පුවත්පත ඇසුරෙන්…

Uncategorized