ගර්භණී සමයේ සිදුකරන විවිධ පරීක්ෂණ අතර යෝනි පරීක්ෂණය විශේෂ වැදගත්කමක් දරයි. නමුත් බොහෝ කාන්තාවන් ඇසූ පමණින්ම මේ පිළිබඳ ලැජ්ජාවක් හෝ භීතියක් ඇති කරගන්නා බව දැකිය හැකිය. ඇත්තටම ඔබ බිය වූ විට යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශි දැඩි වීම නිසා වෛද්‍යවරයාට නිවැරදි නිගමන ලබාගැනීමට අපහසු විය හැක. එය ඔබට අවාසියක් වේ.
යම් කායික පරීක්ෂණයක් යෝනි මාර්ගය හරහා සිදුකරන්නේ ගැබ්ගෙළ, ගර්භාශය, ප්‍රජනක ඉන්ද්‍රියයන් ආදී ස්ථානවල ගැටළු තිබේද යන්න හඳුනාගැනීම සඳහාය. අභ්‍යන්තර ප්‍රජනක ඉන්ද්‍රියයන් පිටතට විවෘත වන්නේ යෝනි මාර්ගයෙනි. ඒ නිසා එම අවයව සම්බන්ධ පරීක්ෂණ සඳහා යෝනි මාර්ගය භාවිතා කරයි. ගර්භණී සමයේදීද මෙවැනි පරීක්ෂණ සිදුකරනු ලැබේ.
මෙම පරීක්ෂණයෙන් ගර්භාශයේ ඉඩ ප්‍රමාණය, එහි හැඩය, හෝ අසාමාන්‍යතා තිබේද යන්න පිළිබඳ තොරතුරු දැනගත හැක. ප්‍රසූතියට සූදානම් වන කාන්තාවකට මෙම පරීක්ෂණය කිහිප වරක් සිදු කිරීමට සිදුවිය හැක. එමඟින් ප්‍රසූතිය සඳහා ගර්භාශය සූදානම්ද, ගැබ්ගෙළ කෙටි වී තිබේද, දරුවාගේ හිස පහළට හැරී තිබේද යන්න පරීක්ෂා කරයි.
යෝනි පරීක්ෂණය සඳහා ගර්භණී මව සූදානම් කිරීම වෛද්‍යවරයාගේ වගකීමකි. මෙය කාන්තාවන්ට යම් අසහනයක් ඇති කළ හැකි බැවින්, එහි වැදගත්කම වෛද්‍යවරයා විසින් පැහැදිලි කර දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී කාන්තාව මුත්‍රා පිටකර පිරිසිදු ව සිටීම වැදගත්ය. වෛද්‍යවරයාද අත් සෝදා, පිරිසිදු අත්වැසුම් පැළඳ පරීක්ෂණය සිදු කළ යුතුය. එසේම වෛද්‍යවරයාගේ සහ ගර්භණී කාන්තාවගේ පහසුකම සඳහා වෙනත් කාන්තාවක් හෝ හෙද නිලධාරිනියක් එම ස්ථානයේ සිටීමත් අත්‍යවශ්‍ය වේ.
යෝනි පරීක්ෂණය සඳහා කාන්තාව මානසිකව සූදානම් වීම ඉතා වැදගත්ය. “මෙය සිදුකරන්නේ මගේ සහ මගේ දරුවාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහායි” යන අවබෝධය ඇති කරගෙන, මාංශ පේශි සැහැල්ලු කර ගැනීමෙන් පරීක්ෂණය පහසු වේ.
පරීක්ෂණය සිදු කරන කාලය පුරා වෛද්‍යවරයාට සහය දීම වැදගත්ය. එමඟින් දෙපාර්ශ්වයටම ඇතිවිය හැකි අසහනය අවම කරගත හැක. තවද, මෙය ගර්භණී සමයේ සිදුකරන සාමාන්‍ය හා අත්‍යවශ්‍ය පරීක්ෂණයක් බව මතක තබාගත යුතුය.










