පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ඉමාඩ් වසීම් සහ ඔහුගේ බිරිඳ සානියා අෂ්ෆාක් සිය විවාහයෙන් වෙන් වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා 2019 වසරේදී විවාහ වූ අතර, මේ වන විට ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටිනවා.
තමා දික්කසාදය සඳහා නඩු පැවරූ බව පවසමින් 37 හැවිරිදි ඉමාඩ් වසීම් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සඳහන් කළේ, පසුගිය වසර කිහිපය තුළ පැවති සහ විසඳාගත නොහැකි වූ ආරවුල් මෙම තීරණයට හේතු වූ බවයි.
තමන්ගේ පෞද්ගලිකත්වය සුරකින ලෙසත්, පැරණි ඡායාරූප ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් ඔහු මහජනයාගෙන් ඉල්ලා සිටිනවා.
තමා දරුවන්ගේ පියා ලෙස ඔවුන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වගකීම් ඉටු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වෙතත්, සානියා අෂ්ෆාක් පසුව සිය සමාජ ජාලය ඔස්සේ ප්‍රකාශ කළේ, මෙම විවාහය බිඳ වැටීමට ‘තුන්වන පාර්ශවයක’ මැදිහත්වීම හේතු වූ බවයි.
තම ස්වාමිපුරුෂයා විවාහ කර ගැනීමේ අරමුණින් පැමිණි තවත් පුද්ගලයෙකු නිසා දැනටමත් අර්බුදකාරී මට්ටමක තිබූ මෙම විවාහය අවසන් වූ බව ඇය සඳහන් කළා.
සිය වේදනාව ප්‍රකාශ කරමින් සානියා කියා සිටියේ, මෙම බිඳ වැටීම නිසා සිය දරුවන්ට තම පියා අහිමි වී ඇති බවයි.
විශේෂයෙන්ම ඔවුන්ගේ මාස පහක් වයසැති බිළිඳා තවමත් පියා විසින් වඩාගෙන හෝ නොමැති බව ඇය ඉතා සංවේදීව ප්‍රකාශ කර තිබෙනවා.
විවාහය රැක ගැනීමට තමා දැඩි උත්සාහයක් ගත් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම පෞද්ගලික කරුණ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහිව අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගන්නා බව ද ඉමාඩ් වසීම් අවධාරණය කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.








