Home ජීවිතයට යමක් ඔබට සෙත් ලැබදෙන බෝධි පූජාවක් නිවැරදිව සිදුකරන්නේ මෙන්න මෙහෙමයි..

ඔබට සෙත් ලැබදෙන බෝධි පූජාවක් නිවැරදිව සිදුකරන්නේ මෙන්න මෙහෙමයි..

0
1769
බොහෝ දෙනෙක් තමන්ගේ හිතේ සැනසීම, සහනය ළඟා කරගන්න මෙවැනි දේ සඳහා යොමුවෙනවා.

මේ කියන්න යන කාරණය ඇත්තටම එහෙම හිතන ඔබට වැදගත් වේවි.

බෝධි පූජාව කායික හා මානසික සුවය ළඟා කර ගැනීමට මහෝපකාරීවේ. බෝධි පූජාවක් නිසි ප්‍රමිතියෙන් යුතුව පැහැදුණු එකඟවූ සිතින් කරුණාව මෛත්‍රිය පෙරදැරිව නිවැරදිව ක්‍රමවත්ව ශ්‍රද්ධා සම්පන්නව සිදුකිරීම තුළ ධ්‍රතරාශ්ට්‍ර, විරූඪක, විරූපාක්ෂ හා වෛශ්‍රවණ යන සතර වරම් දෙවියන්ගේ පිහිට සරණ ද බෝධියට අධිපති කළුබණ්ඩාර දෙවියන්ගේ පිහිට සරණ ද නොඅඩුව ලැබිය හැකියි. එපමණක් නොව, ගස්, ගල්, පර්වත, ආදියට අධිගෘහිතව වැඩවසන තලාටු, භූමාටු, වෘක්ෂ ආදී දෙවියන්ගේ පිහිට සරණ ද ලද හැකියි. බෝධි පූජා පිංකමක සුවිශේෂත්වය වනුයේ එය තමා මෙන්ම අන්‍යයන් වෙනුවෙන් ද සිදුකළ හැකි වීමයි. සාමාන්‍යයෙන් බෝධි පූජාව බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනවලත් විශේෂයෙන් පුර පසළොස්වක පෝය දිනවලත් කඨින පූජා මහා පිංකම් පැවැත්වෙන කාලවල සන්ධ්‍යා භාගයේත් අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. කෙසේ නමුත් කුසලය වනාහී ඥාන සම්ප්‍රයුක්ත හා ඥාන විප්‍රයුක්ත ලෙස දෙයාකාරයි.

එහිදී නිසි දැනුමකින් අවබෝධයකින් යුතුව නිවැරදිව කරන කුසලය ඥාන සම්ප්‍රයුක්ත කුසලය ලෙසත් නිසි දැනුමකින් අවබෝධයකින් තොරව අන්දානුකරණයෙන් යුතුව කරන කුසලය ඥානවියුක්ත කුසලය ලෙසත් අර්ථ කථනය වෙනවා. එනිසා බෝධි පූජාවක් වුවද සිදු කළ යුත්තේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ලෙසයි.

බෝධි පූජාවක් පැවැත්වීම සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා වැඩවසන අනුහස් ඇති විහාරස්ථානයක බෝධීන් වහන්සේ නමක් වඩාත් සුදුසුයි. කෙම්මුර දිනක සන්ධ්‍යා කාලය මේ සඳහා යොදා ගැනීම ඉතාම ප්‍රතිඵල දායකයි. හැකිනම් බෝධි පූජාව සිදුකිරීමට අවම වශයෙන් දින තුනකටවත් පෙර නිර්මාංශ වන්න. එලෙසට දින හතක් නිර්මාංශව පේවිය හැකි නම් ඉතා යහපත්. බෝධි පූජාව තබන දින හොඳින් දිය නා, පිරිසිදුවී පිරිසිදු සුදුවතින් සැරසී බෝධි පූජාව පවත්වන වේලාවට අවම වශයෙන් පැය දෙකකටවත් පෙර කල් වේලා ඇතිව විහාරස්ථානයට යා යුතුයි. එහිදී මුලින්ම මල් ආසන මතවූ පරවුණ මල් ඉවත් කර මල් ආසනය අවශ්‍ය නම් සෝදා පිරිසිදු කරන්න.

එසේම අපිළිවෙළට මල් ආසනය මත පූජා කර ඇති පර නොවුණු මල් පිළිවෙළකට සකසන්න. බාගෙට පරවුණු මැළවුණු මල්වලට පිනිදිය හෙවත් රෝස වතුර ඉස පරවීම මැළවීම ප්‍රමාද කරන්න. එම පිංකම ආයුෂ වර්ධනය වීමට හේතුය. මීළඟට පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන මැටි පහන් අවශ්‍ය පමණ පිරිසිදු කරගන්න. එලෙස පිරිසිදු කරගත් පහන්වලට පොල්තෙල්, අබතෙල්, පස්තෙල්, එළඟිතෙල් නැත්නම් අබතෙල් මිශ්‍ර කරගත් පොල් තෙල් පුරවා කුකුල් අඩි ලෙස සැකසූ කපු රෙදි පහන් වැටි හෝ සාමාන්‍ය පහන් තිර ක්‍රමවත්ව තබන්න. මෙහිදී භාවිත කරන පොල් තෙල් කෑමට ගන්නා පිරිසිදු පොල් තෙල් වියයුතුයි.

මීළඟට හඳුන්කූරු දල්වන ස්ථානය පිරිසිදු කරගන්න. දුම් කබලකට පොල්කටු අඟුරු පුළුස්සා, අගිල්, සුවඳකොට්ටන්, දේවදාර, සුදුහඳුන් හා නාමල් රේණු යන පංචධූමයන්ගෙන් සමන්විත කට්ටකුමච්චල් හෙවත් සාම්භ්‍රාණි කුඩු දුම් ඇල්ලීමට සූදානම් කරගන්න. ඉදලක් ගෙන වැලිමළුව දූවිලි නොනඟින සේ අමදින්න. විහාරස්ථානයේ සැදැහැතියන් වැඩිපුර ගැවසෙන දිනයක් නම් හෝ බෝ මළුවේ බිම වැටී ඇති බෝපත් අතින් ඇහිඳ බෝ මළුව පිරිසිදු කරන්න. ටයිල් හෝ සිමෙන්ති මළුවක් නම් එය කොස්සකින් අතුගා දමන්න. මල් ආසනය මත සමන්කැකුළු, ඊතණ, එළඅබ, සුණුසහල් හා විලඳවලින් සුසැදි ලදපස් මල් විසුරුවා හරින්න. පිනිදිය ඉස හාත්පස සුවඳවත් කරන්න. වර්ණ ගණනාවක් මිශ්‍රවන සේ සකසා ගත් මල් වට්ටි කිහිපයක් මල් ආසන මත තැන්පත් කරන්න. ගිලන්පස ලෙස අඹ, ජම්බු, ඇටිකෙසෙල්, මස්කෙසෙල්, මිදි, වියළි මිදි, ඕළුගෙඩි, වෙරළු, දං හෙවත් මසං ගෙඩි පැන් යන අෂ්ඨ පාන ද බෙලි මල්, රණවරා මල්, සේපාලිකා මල්, කොත්තමල්ලි වතුර, තේ වතුර, උණුවතුර, සීතල වතුර හා පැණි බීම ද චතුමධුර ලෙස මී පැණි ගිතෙල්, හකුරු හා වෙඬරු ද සකසා බන්දේසි මත තබා මල් ආසනය මත තැන්පත් කරන්න.

තමාගේ උසට හෝ දිගින් බඹයක් හෙවත් අඩි 6ක් පමණ වන සුදු හෝ වර්ණ මිශ්‍ර ගෙතූ මල් මාලා හැකි තාක් ප්‍රමාණයකින් බෝධීන් වහන්සේ සරසන්න. සපයා ගතහැකි නම් සිදු කිරීමක් වෙනුවෙන් කපා ඉවත් කළ පොල්, තැඹිලි, පුවක් ගසකින් මල් හතරක් ගෙන තරමක් විශාල මැටි කළ හතරක බහා බෝමළුවේ සිව්කොණ තබන්න. මෙහිදී කොළපුව ඉවත් කර මල තබන්න. කපු රෙදිවලින් මසා ගත් පෙරහන්කඩ ජල කරාමවල බැඳ පෙරාගත් පැන් කළ හතකින් බෝධීන් වහන්සේ වටා දක්ෂිණාව්‍රතව ගමන් කරමින් බෝධීන් වහන්සේ නහවන්න.

සුදු සහ රතු නෙළුම් ඇතිරූ මල් හත බැගින් යුත් කළ හතක් බෝධීන් වහන්සේ වටා සුදුසු පරිදි තැන්පත් කරන්න. කරාබු නැටි, වසාවාසි, කපුරු හා සාදික්කා යන පංච සුගන්ධිකවලින් අනූන දැහැත් වට්ටියක් ද මල් අසුන මත තැන්පත් කරන්න. පැණි රස ලෙස නාරං බික්, සීනි බෝල, හකුරු පෙති වැනි දෙයක් යොදා ගන්න. බුලත් භාවිතයේදී ඉරීම් කඩතොලු වීම් හැකිලීම් මෙන් ම තිත් ලප පුල්ලිවලින් තොරව දීප්තිමත් කොළ පැහැයෙන් බබළන තරමක් විශාල ස්ත්‍රී හෝ පුරුෂ සුබ බුලත් දැහැත් වට්ටියටත් පහන් තැන්පත් කිරීමටත් යොදා ගන්න.

පහන් සැකසීමේදී ත්‍රිවිධ රත්නය උදෙසා පහන් තුනක් ද සතර වරම් දෙවිවරු උදෙසා පහන් හතරක් ද කළුබණ්ඩාර දෙවිඳුන් උදෙසා පහනක් ද රවි චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු හා කේතු යන නවග්‍රහයන් උදෙසා පහන් නවයක් ද සූදානම් කරගන්න. කපුරු පෙත්ත බැගින් දැමූ පහන් කිහිපයක් ද දල්වන්න. අපල කරන ග්‍රහයන්ගේ වර්ණවලින් යුතු හැකිනම් අපල දුරු වන ලෙස සඳහන් කළ රෙදි කොඩි වැල්වලින් බෝධීන් වහන්සේ අවට සරසන්න. දෙහි හා කහ වතුරෙන් පිරිසිදු කළ කාසි 17 ක් පමණ පහන් තැබූ බුලත් කොළ මත තබන්න.

බෝධීන් වහන්සේ වටා දක්ෂිණා ව්‍රතව දුම් අල්ලන්න. අඳුර වැටෙත්ම බුලත් කොළ මත වන සියලු පහන් දල්වන්න. මෙහිදී විශේෂයෙන් මල් මාලා ගෙතීම පහන් දැල්වීම් බෝ මළුව ඇමදීම් ආදී කොට වන සියලු පුද පූජාවන් අපලය ඇති තැනැත්තා හෝ තැනැත්තිය අතින්ම සිදු කිරීම ඉතාම ප්‍රතිඵල දායකය. තවද හඳුන්කූරු කපුරු පහන් හා බෝධීන් වහන්සේ වටා විදුලි බුබුළු ඇත්නම් ඒ සියල්ල අඳුර වැටෙත්ම දල්වන්න.

හැකි නම් නිවැරදිව ක්‍රමවත්ව බෝධි පූජාව පැවැත්වීමට ගුණවත් සිල්වත් උගත් භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධ කරගන්න. එවිට අඩුපාඩු අවම වන ලෙස බෝධි පූජාව සිදුකළ හැක. සාමාන්‍යයෙන් බෝධි පූජාවක් දිනක්, දින තුනක්, දින හතක්, දින නවයක්, දින විසි එකක් ආදී ලෙස අවශ්‍යතාවය මත පවත්වනු දැකිය හැක. එය ප්‍රදේශ අනුව වෙනස් වන නිසාද නියමක් නොවන නිසාද තම තමාට හැකි උපරිමයෙන් සාධාරණව උපයා සපයා ගත් මිල මුදලින් තමාගේ ආර්ථික මට්ටමට ඔරොත්තු දෙන ලෙස තම ශක්ති ප්‍රමාණයෙන් නිවැරදිව ශ්‍රද්ධා පෙරදැරිව සිදුකිරීම ප්‍රමාණවත්ය.

කෙසේ නමුත් අනිවාර්යයෙන්ම පන්සිල් සමාදන්ව බෝධි වන්දනා ගාථා සජ්ඣායනය කර ඉතිපිසෝ පාඨය ද කියා රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය හා මහා මංගල සූත්‍රය යන තුන් සූත්‍රයද සජ්ඣායනය කර දෙවියන්ට පිං දී අවශ්‍ය ප්‍රාර්ථනා ආදිය සිදු කරන්න. තවද බෝධි පූජාව සම්බන්ධව සඳහන් කළ යුතු කරුණු කාරණා බොහෝය.

Previous articleහදවතේ පලතුරෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝමයි.. හදවතක හැඩය ගත් ස්ට්‍රෝබෙරි ගැන මේ ඇසෙන කතාව ඔබත් මින් පෙර දැන සිටියාද..?
Next articleප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න.. ඔබ කරන හැම කටයුත්තකදීම එය ඔබට ආශිර්වාදයක් වේවි.. ” රංගන ශිල්පිනි පූජනී භාග්‍යා..
error: Content is protected !!
Verified by MonsterInsights