නවතම අධ්‍යයන වලට අනුව මුළු වැඩිහිටි ජනගහනයෙන් අඩක්ම වසරකට වරක්වත් හිසේ කැක්කුමකින් පීඩා විඳින බව හෙළිවෙලා තිබෙනවා. හිස කැක්කුම් ඉරුවාරදය, ආතතිය, දෘෂ්ටි දුර්වලතා ආදී විවිධ හේතු නිසා ඇතිවෙන්න පුලුවන්. ඒ අතරිනුත් ආතතිය නිසා හටගන්නා හිසේ කැක්කුම් තමයි වඩාත්ම බහුල. මුළු ජනගහනයෙන් බිලියන 1.6 ක් පමණ පීඩා විඳින හිසේ කැක්කුම් හට ගන්නේ ආතතිය හේතුවෙන්. හිසේ කැක්කුමක් ඇති වෙන්නේ කලින් දැනුම් දීලා නෙමෙයි නේ. ඕනෑම තැනක ඕනෑම අවස්ථාවකදී අපිට හිසේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා අපි පහතින් ඔබට ඉදිරිපත් කරන්නේ ඕනෑම අවස්ථාවක ඔබට පහසුවෙන් සහනය සලසා දිය හැකි පහසු උපක්‍රම 10ක්.
උෂ්ණත්වය තෙරපිය
හිස කැක්කුම ඇති අවස්ථාවකදී උණුසුම් ජලයෙන් ස්නානයක් ලබා ගැනීමෙන් ඔබගේ ආතතියට පත් වූ මාංශ පේශීන් ඉහිල් කර සහනයක් අත් කර දෙනවා. නමුත් ඔබට ස්නානය කිරීමට නොහැකි අවස්ථාවක උණු වතුරෙන් පෙඟවූ රෙදි කැබැල්ලක් මඟින් තැවීම පවා ප්‍රමාණවත්.
ඇරෝමා තෙරපි
ඇතැම් නිශ්චිත සගන්ධ තෙල් (Essential oils) වල සුවඳට, හිසේ කැක්කුමකට සහනයක් අත් කර දිය හැකියි. විශේෂයෙන්ම ඔබ සතුව ලැවෙන්ඩර් තෙල් සගන්ධ තෙල් බෝතලයක් තිබෙනවානම් එයින් ස්වල්පයක් අතැඟිලි වලට ගෙන නළලේ තවරා නිශ්ශබ්ද කළුවර කාමරයක වැතිරී විවේක ගන්න. පෙපර්මින්ට් තෙල් පවා හිසේ කැක්කුම් වලට ප්‍රතිඵලදායක බව ඉරානයේ ශිරාස් විශ්ව විද්‍යාලයේදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙනවා. පෙපර්මින්ට් තෙල් වලින් ඉරුවාරදයට (Migraine) වුණත් සහනය අත්කර දිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සොයාගෙන තිබෙනවා.
ජලය පානය කරන්න
විජලනය කියන්නේ හිසේ කැක්කුම් වලට ඇති තවත් එක් සුලභ හේතුවක්. ඉතින් මෙවැනි හිසේ කැක්කුම් වලින් වැළකී සිටීමට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. නමුත් ඔබ සිහි තබා ගත යුතු කාරණය වන්නේ අධික ලෙස ජලය පානය කිරීම මගින් රුධිරයේ ඇති සෝඩියම් මට්ටම අතිශයින් තනුක වන හයිපොනට්‍රේමියා (Hyponatremia) නම් තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි. එහිදී හිසේ කැක්කුම, කැරකැවිල්ල, බඩ පිපුම වැනි විජලනයට බොහෝ සෙයින් සමාන රෝග ලක්ෂණ පෙන්වන නිසා බොහෝ දෙනෙක් විජලනය හා හයිපොනට්‍රේමියා තත්ත්ව පටලවා ගන්නවා.
ඖෂධීය සුවය
ඉඟුරු කියන්නේ අතීතයේ පටන්ම ඉරුවාරදය ඇතුළු හිසේ කැක්කුම් වලට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත් ඖෂධයක්. නූතන අධ්‍යයන වලින් පවා එහි ප්‍රතිඵලදායක බව තහවුරු කර තිබෙනවා. මේ නිසා හිසේ කැක්කුමක් ඇති අවස්ථාවකදී තලාගත් ඉඟුරු තේ හැඳි භාගයක් ජලය සමඟ මිශ්‍රකර සාදාගත් ඉඟුරු යුෂ පානය කරන්න ඔබට පුළුවන්.
“යූනියන් වැලී” ස්ථානය සම්බාහනය කිරීම
යූනියන් වැලී(Union valley) කියන්නේ ඔබගේ අතේ මහපටැඟිල්ල හා දබරගිල්ල අතර ඇති දැලක් වැනි බැඳුණු කොටසයි. මුලින් එම ප්‍රදේශය තප්පර 10ක් පමණ තදින් හා වේදනාකාරී ලෙස කොනිත්තන්න. තත්පර 10ට පසු ඔබේ අනෙක් අතේ මහපට ඇඟිල්ල මගින් එම ස්ථානය කවාකාරව සම්බාහනය කරන්න. මුලින් දක්ෂිණාවර්තව තත්පර 10කුත් ඉන්පසු වාමාවර්තව තත්පර 10කුත් සම්බාහනය කරන්න. ඉන්පසු එම සම්භාහනය අනෙක් අතටද සිදු කරන්න. හිසේ කැක්කුම් වලට නිරන්තරයෙන් හේතු වන හිසේ හා බෙල්ලේ ආතතිය දුරු කිරීම මෙම කටු චිකිත්සක ක්‍රමවේදය මගින් සිදු වෙනවා.
“සැන් යින් ජියාවෝ” ස්ථානය සම්බාහනය කිරීම
චිකිත්සක ක්‍රමවේදයේදී ආතතිය දුරු කර මනස සන්සුන් කිරීමට යොදාගන්නා තවත් ස්ථානයක් වන සැන් යින් ජියාවෝ (San Yin Jiao) ස්ථානය සම්බාහනය කිරීම මගින් ඔබට හිසේ කැක්කුම් වලට සහනයක් ලබාගත හැකියි. එම ස්ථානය පිහිටා ඇත්තේ ඔබගේ වළලු කාර් ඉහළම ස්ථානයේ සිට අතේ ඇඟිලි හතරක පළලට උඩින්, කකුලේ ඇතුළු පැත්තේ අස්ථියට පිටුපසින්ය. අතේ මහපට ඇගිල්ල ආධාරයෙන් තත්පර 4, 5ක් පමණ එම ස්ථානය ප්‍රභලව සම්බාහනය කරන්න.
විඥානයෙහි ද්වාර සම්භාහනය කිරීම
විඥානයෙහි ද්වාරය (Gates of Consciousness) කියලා බරපතළ නමක් තිබුනට මේක අපි හැමෝම දන්න ස්ථානයක්. ඔබගේ බෙල්ල පිටුපස හරියටම කෙස් වලට පහළින් ඉලිප්පුණු සිරස් ග්‍රීව මාංශපේශි දෙකක් අතර ඇති වළක් වැනි කුඩා කොටස ඔබ දන්නවා ඇති. එම එම වළෙහි ඇති ස්ථාන දෙකක් තමයි ඔබ මෙහිදී පීඩනයට ලක් කරන්න ඕනේ. අත් දෙකේම මහපට ඇඟිලි හා දබර ඇඟිලි උපයෝගී කරගෙන එම ස්ථානය තත්පර 10ක් තද කරගෙන සිටින්න. තත්පර දහයකට පසු අතහැර නැවතත් තත්පර දහයක් එයම කරන්න. ඉරුවාරදයට ප්‍රතිඵලදායක වන මෙම ක්‍රමය මගින් බෙල්ලෙ ආතති තත්ත්වයන් දුරලනවා.
ඩ්‍රිලින්ග් බැම්බු පොයින්ට් තෙරපීම
ඩ්‍රිලින්ග් බැම්බු පොයින්ට් (Drilling Bamboo point) පිහිටා තිබෙන්නේ නාස් දණ්ඩ ඇහිබැම හා සම්බන්ධ වන නාසය දෙපැත්තේ පිහිටි ස්ථානයෙයි. අත් දෙකේම දබරැඟිලි යොදාගෙන එකම අවස්ථාවේදී එම ස්ථානවලට තප්පර 10ක් පමණ පීඩනයක් යොදන්න. ඉන්පසු අතහැර නැවතත් එයම කරන්න. මෙමගින් ඇස් වෙහෙසට පත් වීම නිසා හා සයිනස් නිසා හටගන්නා හිසේ කැක්කුම් වලට සහනය අත්කර දෙනවා.
ශෝල්ඩර් වෙල් සම්බාහනය කිරීම
ශෝල්ඩර් වෙල් (Shoulder well) පිහිටා තිබෙන්නේ ඔබගේ උරහිස් තුඩු සහ බෙල්ලේ පාමුල අතරමැද ප්‍රදේශයේ. ඔබේ අතේ මහපට ඇඟිල්ල ආධාරයෙන් වම් උරහිසේ මෙම ස්ථානය කවාකාරව මිනිත්තුවක් පමණ සම්භාහනය කරන්න. ඉන්පසු දකුණු පැත්තටත් එහෙම සිදු කරන්න. මෙමඟින් බෙල්ල හා උරහිසේ දැඩි බව දුරලමින් ඒ හා සම්බන්ධ හිසේ කැක්කුම් වලට සහනයක් සලසනවා.
පියුපිල් බෝන් හෝල් පිරිමැදීම
පියුපිල් බෝන් හෝල් (Pupil bone hole) නම් ස්ථානය පිහිටා තිබෙන්නේ ඔබේ ඇස් දෙකේ පිටත කෙළවරේය. සහනයක් දැනෙන තුරු ඔබගේ අත්වල මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල ආධාරයෙන් එකම අවස්ථාවේදී එම ස්ථාන සෙමින් පිරිමදින්න. ඉරුවාරදයට සහනයක් සලසා දීමට මෙම ක්‍රමයට හැකියි.
(උපුටාගැනීම lankaonline)