ගුල්ලන් නොකා සරලව ගුල්ලන් පලවා හරින්න පුලුවන් සුපිරි ක්‍රම 08 ක් මෙන්න.

ගුල්ලන් නොකා සරලව ගුල්ලන් පලවා හරින්න පුලුවන් සුපිරි ක්‍රම 08 ක් මෙන්න.

සහල්, මුං ඇට, කඩල, කව්පි වැනි ධාන්‍ය වර්ග වලට ගුල්ලන් වැසීම විශාල කරදරයක්. මේ නිසා ගුල්ලන්ගේ පැමිණීම වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න අපි තීරණය කළා.

දෙහි කොළ යෙදීම

දෙහි කොළ වලින් එන සැර පැඟිරි සුවඳ ගුල්ලන්ගේ පැමිණීම වළක්වන්නට සමත් වෙනවා. ගුල්ලන් පැඟිරි සුවඳට අකමැති වීම මෙයට හේතුවයි. දෙහි කොළ අව්වේ වියළාගෙන හෝ අමු දෙහි කොල ධාන්‍ය භාජනේට එකතු කළ යුතුය. අමු දෙහි කොළ යොදනවා නම් කඩදාසියක ඔතා ධාන්‍ය අතර සැඟවිය යුතුය. ඉන්පසුව සුළං නොයන ලෙස වසා තැබිය යුතුය.

දෙහි පොතු

මුළුතැන්ගෙයින් ඉවතට විසි වෙන දෙහි පොතු වලින් මීට පස්සේ ගුල්ලන් එලවා දමන්න පුළුවන්. දෙහි පොතු හොඳින් වේලලා ධාන්‍ය සමඟ මිශ්‍ර කර බඳුනකට දමන්න. දෙහි ගන්ධය නිසා ගුල්ලන් එන්නේ නැහැ.

රම්පා යෙදීම

රම්පා කියන්නේ තද සුවඳක් එන කොළ වර්ගයක්. රම්පා කොළයක් ගෙන කොටස් වලට කඩා එය ධාන්‍ය භාජනය තුළ තැනින් තැන ධාන්‍ය අතරේ රඳවා තැබිය යුතුය. ඉන්පසුව සුළං ඇතුළු නොවන සේ වසා තැබිය යුතුය.

ගම්මිරිස්

ගම්මිරිස් ඇට හෝ කුඩු ස්වල්පයක් ධාන්‍ය බඳුනට එකතු කරන්න.

කොහොඹ කොළ යෙදීම

වගාවට සහ ධාන්‍ය ගබඩාවට හානිකරන කෘමීන් පලවා හැරීමට ඈත අතීතයේ සිටම කොහොඹ කොළ යොදා ගැනුණා. කොහොඹ කොළ අහුරක් ගෙන ධාන්‍ය බඳුනේ ධාන්‍ය සමඟ මිශ්‍ර කර තැබීමෙන් ගුල්ලන් බෝවීම සහ පුස් ඇති වීම වළක්වා ගත හැකිය.

මිරිස් යෙදීම

මිරිස් කරල් කීපයක් ගෙන මඳ පවනේ හෝ අවන් එකේ වියලා ගන්න. ඉන් අනතුරුව ධාන්‍ය බඳුනේ තැනින් තැන මිරිස් කරල් ඔබ්බවා තියන්න. මෙම ක්‍රමය වඩාත් ගැලපෙන්නේ හොඳින් වසා තැබිය හැකි වීදුරු බඳුන් වල තැම්පත් කරන ධාන්‍ය ආරක්ෂා කර ගැනීම සඳහාය.

කරාබු නැටි

ධාන්‍ය බඳුනට කරාබු නැටි කීපයක් එක කරන්න. කරාබු නැටි වලින් නැගෙන සැර සුවඳ සහ ගන්ධය ගුල්ලන් ඇතුළු වීම වළක්වාලන්න සමත් වෙනවා.

සුදු ළුණු

පරිප්පු උයද්දී කොහොමත් සුදු ළුණු එකතු කරනවානේ. මේ නිසා පරිප්පු බඳුනට එන ගුල්ලන් නවත්තන්න සුදු ළුණු එකතු කරන්න පුළුවන්. පරිප්පු වලට සුදු ළුණු සුවඳ ඇල්ලුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ සදහා පොතු ඉවත් නොකළ සුදු ළුණු භාවිතා කරන්න. ගෙඩියක් හෝ දෙකක් බඳුනේ මැදට වෙන්නට තැම්පත් කරන්න.

 

 

 

 

 

Life Style