“ආයෙම ලංකාවට ආපු දවසක නැවතත් රංගනයට යොමු වෙනවා…” පුංචි තිරයේ අවිහිංසකාවිය, තිසුරි කලාවෙන් තාවකාලිකව සමුගෙනද..?

0
614

තිසුරි යුවනිකා කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

කාලයෙන් කාලයට රසිකයින් අතරට එන ඇය මෑත කාලයක තවත් විශේෂ සම්මානයක් තමගේ කරගන්න වාසනාවන්ත වුණා. ඒත් දක්ෂතා රැසක් තියන මේ රංගන ශිල්පිනිය මේ වෙනකොට රංගනයෙන් ඈත්වෙලා ඉන්නේ ඇය විදෙස්ගතවෙලා ඉන්න නිසා කියලා කියන්න පුළුවන්.

හොඳම කැටගරියෙන් සම්මානිත වෙද්දි රංගනය අතහැරීම ගැන පසුතැවීමක් දැනුණෙ නැද්ද?

මට රංගනයෙන් ඈත් වෙන්න හේතු කිහිපයක්ම තිබුණා. එකක් මගේ අම්මගේ අසනීපය. අනෙක් කරුණ මට සැමියා එක්ක විදෙස්ගත වෙන්න සිදුවීම. වැඩ භාර අරන් අතරමඟ දාල යන්න බැරි නිසා මං 2020 ඉඳලම නිර්මාණ භාරගත්තෙ නැහැ. මේක මට කාලෙකට පස්සේ ලැබුණු සම්මානයක්. ඒක ලැබෙන වෙලාවෙ මං ලංකාවෙ හිටියෙත් නැහැ. මට දුකක් තියෙනවා. නැත්තෙ නැහැ. සමහර වෙලාවට මගේ පරණ නිර්මාණ දකිද්දි, ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර දකිද්දී දුකක් එනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් ගත්ත තීරණයක් නිසා මං කවදාවත් ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. හොඳම දේවල් හොඳම කාලෙදි කළා කියන සතුට තියෙනවා. හැබැයි මං රංගනයෙන් සමු අරන් නැහැ. මඳ විරාමයක් ගත්තා විතරයි.

ඔබ රංගනයෙන් දායක වුණු බොහෝ නිර්මාණ ඔබව හොඳම කැටගරියෙන් සම්මානිත කළා කිව්වොත්?

අඩු වයසින්ම මට මගේ වයසට වඩා මුහුකුරා ගිය චරිත ලැබුණා. ඒකම හේතු වෙන්න ඇති මට ඒ වගේ සම්මාන ලැබෙන්න. ගොඩක් මහන්සිවෙලා කැපකිරීම් කරලා ගොඩනඟපු චරිත. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට එක එක කාණ්ඩවලින් සම්මානයට නිර්දේශවෙලා තියෙනවා. මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්ත නිර්මාණකරුවන් මං මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා.

රංගනය කියන්නෙ ඔබට මවගෙන් ලැබුණු උරුමයක් කිව්වත් හරි. ඇයගේ ආශීර්වාදය අදටත් ඔබට ලැබෙනවා ඇති?

ඔව්. රංගනය කියන්නේ මගේ මවගෙන් ලැබුණු දායාදයක්. මගේ අම්මගේ ආශීර්වාදය ඇය හිටිද්දිත් තිබුණා. ඇය නැති වුණත් ඒ ආශීර්වාදය මට ලැබෙනවා කියන එක මං දන්නවා. රංගනයේදී විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී ජීවත්වෙන විදිහ පවා මම ඉගෙන ගත්තෙ මගේ අම්මගෙන්. මට පොතේ දැනුමට වඩා වැඩියෙන් තියෙන්නේ සමාජ දැනුම. ඒක මට ලැබුණෙත් අම්මගෙන්. ඇය ගිය අඩිපාරේ තමයි මං හැමදාම යන්න උත්සාහ කළේ. ඇය හැමදාම කිව්වේ හැමදාම හොඳින් ඉන්න. සතුටින් ඉන්න. හොඳ මනුස්සයෙක් වෙන්න කියන එක.

මෙවර ඔබ වෙනුවෙන් සම්මානය අතට ගන්නෙ ඔබේ පියා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒක මට මං සම්මානය ගත්තටත් වැඩිය සතුටක්. මොකද දරුවන්ගේ ජයග්‍රහණයේදී වැඩියෙන්ම සතුටට පත්වෙන්නේ මවුපියන්. මං දැක්කා එදා තාත්තාගේ ඇස්වල තිබුණු සතුට. කතා කරද්දි ඒ වචනවල තිබුණු සතුට. ඒක දරුවෙක් විදිහට මට සම්මානය ලැබුණටත් වඩා ලොකු සතුටක්. මගේ තාත්තා ඒ සම්මානය ගත්ත එක මට ජීවිතේ කවදාවත් අමතක නොවන සිදුවීමක්.

ආදරණීය සැමියාත් ඔබේ පසුපස සෙවණැල්ල වගේ ඉන්නවා. ඔහු ගැනත් මතක් කරමු?

මගේ මවුපියන්ගෙන් පස්සේ මගේ හෙවණැල්ල වෙන්නෙ එයා. මං වැටෙන හැම තැනකදිම මට වාරුවක් වෙන්නේ මාව ශක්තිමත් කරන්නෙ එයා. අම්මගේ අසනීප තත්ත්වයත් එක්ක මට මුහුණදෙන්න වුණු ප්‍රශ්න හමුවේ මට හයියක් වුණේ මගේ සැමියා. එයා හරි කැමැතියි මං වැඩ කරනවට. එයා හැම වෙලාවෙම කියන්නේ ඒක ඔයාගෙ ටැලන්ට් එක ඒ නිසා රංගනයෙන් ඈත් වෙන්න එපා කියලා. ලංකාවට ගිය වෙලාවක ඔයා ආයෙ වැඩ කරන්න ඕන කියන එක එයා හැමවේලේම කියනවා. අපි දිගටම විදෙස්ගත වෙලා ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ආයෙම ලංකාවට ආපු දවසක නැවතත් රංගනයට යොමු වෙනවා.

Previous articleරෑට නිදා ගන්න කලින් කහ කිරි වීදුරුවක් බිව්වොත් ශරීරයට ලැබෙන පුදුම වාසි 10ක්.
Next articleලොව නිර්භීතම සතා ගනී බැජර් සතු සුපිරි බලයන් 10 මෙන්න.