Home තරු ගොසිප් වැඩේ හොඳ නම් සරාගී චරිතයකට වුණත් මම ලෑස්තියි – රටක් ආදරේ කරන...

වැඩේ හොඳ නම් සරාගී චරිතයකට වුණත් මම ලෑස්තියි – රටක් ආදරේ කරන ජනප්‍රිය රංගන තාරුකාවිය මේධා ජයරත්න කී ඒ කතාව මෙන්න

0
109

හදවතට දැනුණු නන්දනී හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය, අද වේදිකාවේ රූපවතී ලෙසින් අලු‍‍ත් රංගන ගමනක නිරතව සිටියි. ගමේ හැදුණු වැඩුණු ගැමි බවත්, රංගනයේදී ඕනෑම අභියෝගයකට නිර්භීතව මුහුණ දීමේ සූදානමත් ඇය සතු සුවිශේෂ ලක්ෂණයකි. නන්දනීගේ ඉරණම ගැන එදා සංවේදී වූ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, රංගන ජීවිතයේ අලු‍‍ත් ඉමක සිටින මේධා ‘හාට්’ සමග මෙලෙස දිගහැරෙන්නේ ‘බැද්ද අද්දර’ මතකයන්ද අවදි කරමිනි.

මෙතෙක් ඔබෙන් නොදුටු රංගනයක් නන්දනී චරිතය හරහා දැකගන්නට ලැබුණා?

ඇත්තටම ඔව්. නන්දනීව මුළු කතාව පුරාම ප්‍රේක්ෂකයන් හොයන්නට පටන් ගත්තා. නන්දනීට අවසානයේ අත්වුණු ඉරණමට ප්‍රේක්ෂකයන් දුක් වුණා. මම මේ වගේ චරිතයක් මීට පෙර රඟපාලා නැති නිසා මොන වගේ විදියට ප්‍රතිචාර ලැබෙයිද කියලා හිතේ ලොකු බයකුත් තිබුණා. සිපගන්න, අල්ලන දර්ශන තිබුණු නිසා. ඒත් බුද්ධික අයියා මට ස්ක්‍රිප්ට් එක දෙනකොට චරිතය ගැන හොඳට පැහැදිලි කරලා තමයි දුන්නේ. ඇත්තටම මට නන්දනී චරිතය ගැන පුදුම ආශාවක් ආවේ. නන්දනී චරිතය තුළ මට කරන්න ගොඩක් දේවල් තිබුණු නිසා හරිම ආශාවෙන් ‘බැද්ද අද්දර’ ටෙලිනාට්‍යයේ ඒ චරිතය මම භාරගත්තේ.

මේ අභියෝගයට මේධා කොහොමද මුහුණ දුන්නේ?

මමත් ගමක හැදුණු වැඩුණු කෙනෙක් නිසා මට නන්දනී චරිතය අභියෝගයක් වුණේ නැහැ. මගෙ ගම අනුරාධපුරය. නන්දනී කියන්නේ දුෂ්කර ගමක සැමියා සමග ජීවිතය ගතකරන ගැහැනියක්. මම උපරිම උත්සාහ කළේ නන්දනී මා තුළින්ම එළියට ගන්න. භාෂාව, හැසිරෙන විදිය ඒ වගේම මගේ පෙනුමෙන් පවා මාව වෙනස් වෙන විදියට මම හැඩගැහුණා කියලා කිව්වොත් නිවැරැදියි. මට අභියෝගයකට තිබුණේ ප්‍රේක්ෂකයන් මාව මොන විදියට භාරගනීද කියලා.

පිටපතට එහා ගියාද නන්දනී හදාගන්න?

අපිට උපරිම නිදහස තිබුණා. ඒ නිදහසත් එක්ක මම නන්දනී වෙනස්ම විදියකට මා තුළින්ම ගොඩනගා ගත්තා. හැබැයි පිටපතට එහා යන්න මම උත්සාහ කළේ නැහැ. යම් දෙයක් එකතු කරන්න මම උත්සාහ කළා නම් සමන්ත අයියා, බුද්ධික අයියා සමග කතාබහ කරලා තමයි මම එය කළේ.

අදටත් ප්‍රේක්ෂකයන් නන්දනී ගැන කතා වෙනවා?

මටත් හිතාගන්න බැහැ. ඒ තරමට ප්‍රේක්ෂකයන් නන්දනීව මුළු කතාව පුරාම හොයන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි නන්දනීට ලේ පිළිකාවක් කියලා දැනගත්තම ප්‍රේක්ෂකයන්ගේ එකම ඉල්ලීම තිබුණේ නන්දනී චරිතය මරන්න එපා කියලා. හැබැයි ඉතින් කතාව ගලාගෙන ගිය විදියට නන්දනීගේ ඉරණමට නොසිතූ විදියට මුහුණ දෙන්න සිදුවුණා.

රසබර කතාවක් ලොකු දුරක ගිහින් නතර වුණා?

ඔව්නේ. එදා රෑ සමන්ත අයියා, අපි කිහිප දෙනෙකුයි වාහනේ ගියේ. වැටුණ කතාව හැටියට අපිට රූගත කිරීමට යන්න තිබුණු පාරත් පහු කරගෙන ලොකු දුරක් ගිහින් තමයි දැක්කේ. මොනවා කරන්නද? ඉතින් ආපහු වාහනය හරවගෙන ආවා. ඒ තරමට කතාව රසවත්.

මේධා මෙතෙක් රඟපාපු චරිත අතර ප්‍රේක්ෂකයන්ට දැනෙන්ම කරපු වැඩක්?

අනිවාර්යයෙන්. මම හිතන්නේ මට වගේම නන්දනී ගොඩ දෙනකුට දැනුණා. ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් පවා මගේ මේ රඟපෑම ගැන අගය කළා. ඒ තරමට මම තාත්වික විදියට රඟපෑවා කියලා. සතුටුයි මේ වගේ ප්‍රතිචාර ලැබෙනකොට. ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ බුද්ධික ලොකුකැටියට, ඒ වගේම තිර පිටපත් රචක සමන්ත කුමාරගමගේ අයියාට මම ගොඩක් ස්තුති කරනවා නන්දනී චරිතයට මාව තෝරගත්ත එක වෙනුවෙන්. සමන්ත අයියා තමයි මගේ සැමියා විදියට බණ්ඩාගේ චරිතය රඟපෑවේ. නන්දනීට වෙනම ආලෝකයක් ලැබුණා බණ්ඩා චරිතය වගේම අනෙකුත් සියලු චරිත හරහා.

මේ දවස්වල පුංචි තිරයේ විතරක් නෙවෙයි වේදිකාවේ සුවිශේෂ රංගනයක් මේධාගෙන් දකිනවා?

ඔබ අහන්නේ ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයේ රූපවතී චරිතය ගැන වෙන්න ඇති. ඇත්තටම මම ඒ කාලේ ඉඳලා ගොඩක් ආශාවෙන් රසවිඳපු වේදිකා නාට්‍යයක් ‘කැලණි පාලම’. ඒත් මම කවදාවත් හිතුවේ නැහැ ‘කැලණි පාලමේ’ රූපවතී චරිතය මට කරන්න ලැබේවි කියලා. මුලින්ම රූපවතී චරිතය රඟපෑවේ මැණිකේ අත්තනායක. පසුකාලීනව ගීතා කාන්ති ජයකොඩි. ඒ දෙදෙනාගෙන් පස්සේ මේ අවස්ථාව මට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

මේ දවස්වල ඔබේ රඟපෑම් එක්ක සරාගී චරිතයකට ආරාධනාවක් ලැබුණොත්?

මම එහෙම චරිත රඟපාලා නම් නැහැ. හැබැයි ලස්සන නිර්මාණයක් නම් ප්‍රශ්නයක් නැහැ. චරිතයට මුහුණ දෙන්න මම සූදානම්. පිටපතට අනුව උපරිම සාධාරණයක් මම කරනවා.

Previous articleහැමෝම මේ දින වල පැතිර අය රෝගය ගැන අවදානමෙන් ඉන්න.. ජාත්‍යන්තර පාසලක සිසුවියකටත් දිවි අහිමි වෙයි..
Next articleලෝකයේම හදවත් දිනූ සුපිරි බොලිවුඩ් නළු රාජ්පුත්ගේ දිවින.සාගැන්මට ඔහුගේ පෙම්වතිය සම්බන්ධද ? සියල්ලන් බලා සිටි ඒ කතාවේ ඇත්ත නැත්ත එළියට ?
error: Content is protected !!
Verified by MonsterInsights