AI තාක්ෂණයෙන් මඳසරුභාවයට නව බලාපොරොත්තුවක්: ලොව ප්‍රථම වරට ‘සඟවුණු ශුක්‍රාණු’ සොයාගැනීමට සමත් වෙයි
(Lakvahini) – ප්‍රජනක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින්, මෙතෙක් දරුවන් ලැබීමේ හැකියාවක් නොමැති බවට (අඳසරුභාවය) හඳුනාගෙන සිටි පිරිමින් සඳහා කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත නවීන තාක්ෂණයක් මඟින් දරුඵල ලැබීමේ නව බලාපොරොත්තුවක් උදා කර දී තිබේ.
අභ්‍යවකාශයේ තරු සෙවීම සඳහා භාවිත කරන AI තාක්ෂණය පදනම් කරගනිමින් නිපදවා ඇති මෙම නව ක්‍රමය හරහා, ස්වභාවිකව ශුක්‍රාණු නොමැති බවට තහවුරු වූ පිරිමින්ගේ සාම්පල තුළ ඉතා සූක්ෂ්ම ලෙස සැඟවී ඇති ශුක්‍රාණු සෛල හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත.
තරු සෙවීමේ තාක්ෂණය වෛද්‍ය විද්‍යාවට
කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සරුභාවය පිළිබඳ මධ්‍යස්ථානයේ (Columbia University Fertility Center) වෛද්‍ය විලියම්ස් සහ ඔහුගේ කණ්ඩායම විසින් මෙම ‘Star’ (ස්ටාර්) පද්ධතිය නිර්මාණය කර තිබේ. නවීන දුරේක්ෂ මඟින් ලබාගන්නා අතිවිශාල දත්ත ප්‍රමාණය විශ්ලේෂණය කර තරු හඳුනාගන්නා ආකාරයටම, පටක සාම්පල තුළ ඇති සෛල කොටස් දහස් ගණනක් අතරින් ජීවී ශුක්‍රාණු සෛලයක් තත්පරයකටත් අඩු කාලයකදී හඳුනාගැනීමට මෙම AI පද්ධතියට හැකියාව ඇත.
“අභ්‍යවකාශයේ ඡායාරූප සහ ශුක්‍රාණු නොමැති බව පැවසූ පිරිමින්ගේ සාම්පල අතර විශාල සමානකමක් තිබෙනවා. අප කරන්නේ අතිවිශාල දත්ත සාගරයක් මැද ඇති ඉතා දුර්ලභ ශුක්‍රාණුවක් කෘතිම බුද්ධිය හරහා තත්පරයකට රූප රාමු 300ක වේගයෙන් පරීක්ෂා කර සොයාගැනීමයි,” යනුවෙන් වෛද්‍ය විලියම්ස් පැවසීය.
සාර්ථක වූ පළමු අත්හදාබැලීම
මෙම තාක්ෂණයේ සාර්ථකත්වය සනාථ කරමින්, ‘Klinefelter’ සින්ඩ්‍රෝමය නමැති ජානමය තත්ත්වය හේතුවෙන් ස්වභාවිකව ශුක්‍රාණු නිපදවීමට නොහැකි වූ සැමුවෙල් නමැති පුද්ගලයෙකුගේ වෘෂණ පටක සාම්පලයකින් ශුක්‍රාණු 8ක් වෙන්කර ගැනීමට විද්‍යාඥයින් සමත් විය. එම ශුක්‍රාණු ඔහුගේ බිරිඳ වන පෙනෙලොප්ගේ ඩිම්බ සමඟ සංසේචනය කළ අතර, ඉන් එක් කළලයක් සාර්ථකව වර්ධනය විය.
මේ වන විට පෙනෙලොප් ගැබ්ගෙන සිටින අතර, මෙම තාක්ෂණය හරහා උපත ලබන ලොව පළමු දරුවා ලබන ජූලි මාසයේදී බිහිවීමට නියමිතය.
අනාගතය සහ අභියෝග
ප්‍රජනක වෛද්‍ය විද්‍යාවට AI තාක්ෂණය එක්වීම විශාල ජයග්‍රහණයක් වුවද, විද්වතුන් පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රතිකාර ක්‍රම සාමාන්‍ය ජනතාව වෙත මුදා හැරීමට පෙර තවදුරටත් පුළුල් සායනික පරීක්ෂණ අවශ්‍ය බවයි. වෝර්වික් විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්ය සියෝබ්හාන් ක්වෙන්බි පවසන්නේ, මෙය ඉතා උද්යෝගිමත් ආරම්භයක් වුවද, රෝගීන්ගේ සංවේදී වෛද්‍ය දත්ත ආරක්ෂා කිරීම සහ මෙම නව තාක්ෂණයේ දිගුකාලීන ප්‍රතිඵල පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි.
කෙසේ වෙතත්, වසර ගණනාවක් තිස්සේ දරුඵල අහිමිව සිටි දහස් සංඛ්‍යාත ජෝඩුවලට මෙම AI තාක්ෂණය මඟින් අලුත් බලාපොරොත්තුවක් එක්කර තිබේ.











