Home දේශිය පුවත් අක්කා තෑග්ග ගත්තා… ඒත් මුළු ශාලාවම හෙව්වේ චලනිව නව නිපැයුම්වලින් රටක් දිනන්න...

අක්කා තෑග්ග ගත්තා… ඒත් මුළු ශාලාවම හෙව්වේ චලනිව නව නිපැයුම්වලින් රටක් දිනන්න තිබුණු චලනි… අද මතකයක් පමණයි..

0
398

ඇදහැලෙන මුරුගසන් වැස්ස යළිදු වරක් අප තුන්හාර මාසයක අතීතයට ගෙන ගියේය. මුළු රටම එකම මළ ගෙයක් කළ ‘දිට්වා’ සුළි කුණාටුව හැමූ කාලයෙත් තිබු​​​ණේ මෙහෙමම මහ වරුසාවකි. අපට සේම ගම්පොළ සාන්ත ජෝශප් බාලිකා විදුහලේ ශිෂ්‍යාවන්ටද දෙසතියකට ඉහතදී ‘දිට්වා’ මතක් වූවේය. ඒ මහ වැස්ස නිසා නොවේ. හදවත් පාරමින් ඒ අමිහිරි සිද්ධීන් මතකයට ආවේ විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේදීය. තෑගි ලැබීම වූ කලී සතුට දනවන කරුණක් වුවද, ගම්පොළ සාන්ත ජෝශප් විද්‍යාලයේ 2024/ 2025 ත්‍යාග ප්‍රදානය පැවැත්වෙන අතරතුරේ සියලු දෙනාගේම නෙතට කඳුළක්ම ඉනුවේය. සතුටු කඳුළු නොව දුක් කඳුළුය. ඒ තෑග්ග හිමි වූ ශිෂ්‍යාවක් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජනරාල් ඩබ්ලිව්. එම්. එස්. එන්. විජේකෝන් අතින් තෑගි ලබන්නට පැමිණි ශිෂ්‍යාවන් එක් අයකු නොව දෙදෙනක නිසාය. ඔවුන් දෙදෙනක වුවත් දෙදෙනාගේම ඇඟේ දුවන්නේ එකම ලේය. ඒ ඔවුන් දෙදෙනා එක බඩවැල කඩාගෙන ආ සොයුරියන් නිසාය.

තෑග්ග ගන්න ආවේ හිරුනි සඳුනිකා කුමාරතුංගය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවකි. තෑග්ග හිමිව තිබුණේ ඇගේ බාල නැගණිය චලනි සිදන්ගනා කුමාරතුංගටය. චලනිගේ වැඩිමහල් සහෝදරයා නිපුණ රුමේස් කුමාරතුංගය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයෙකි. චලනි පවුලේ අන්තිමයාය. ඇයද වෛද්‍යවරියක වීමේ සිහින දකිමින් ඒ ඉලක්කය හඹා යමින් සිටියාය. එහෙත් ස්වභාව ධර්මය ඇයට හරස් විය. දිට්වා සුළි කුණාටුව චලනි පසට යටකර දැමුවේය.

“අනේ මලීෂා නංගී මම හිතුවා අද ඔයා මට හම්බවෙයි කියලා. මේ ඔයා මට හමු වූ එක හොඳයි. මම ඔයාට කියන්නමයි හිටියේ. මම ඔය ඉස්කෝලේ තව ගොඩක් කල් ඉන්නේ නෑ. මම නැති වුණත් ඔයා නව නිපැයුම් වැඩවලින් ඉවත් වෙන්න එපා. ඒ වගේම විෂය බාහිර කටයුතු කරනවා කියලා ඉගෙනීම අඩාළ කර ගන්නත් එපා.”

“දිට්වා” සුළි කුණාටුවට දින කිහිපයකට පෙර ගම්පොළ නගරයේදී මේ සංවාදය ඇති වූයේ ගම්පොළ සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම්ව සිටි චලනි සිදන්ගනා කුමාරතුංග හා එම විද්‍යාලයේ දහවන වසරේ මලිෂා නවාංජලී අතරය.

එදා චලනී ගම්පොළ නගරයට පැමිණි විට ඇගේ විද්‍යාලයේ සහෝදර සිසුවියක වූ මලිෂා හමුවේ යැයි නොසිතුවත් අහම්බෙන් හමු වූ මලිෂාගේ දෑත් අල්ලාගෙන මවක ගුරුවරියක හොඳම යෙහෙළියක ලෙස චලනි මලිෂාට උපදෙස් දුන්නේ චලනි වෙනත් විද්‍යාලයකට යනවා යැයි මලීෂාට අඟවන්නටය. සාන්ත ජෝශප් විද්‍යාලය තුළදී චලනී හැමදාමත් මලීෂාලාට ලෙන්ගතුව දෙන මෙවැනි උපදෙස් හුරු පුරුදු නිසා එදාද චලනිගේ ඒ උපදෙස් මලීෂාට අමුත්තක් නොවීය. එහෙත් දින කීපයකට පසු ගම් නියම්ගම් යට කර මුළු කඳුකරයම සොහොන් බිමක් බවට පත් කළ දිට්වා සුළි කුණාටුවට චලනී ඇගේ මව පියා හා ඥාතියකුද බිලි ගෙන තිබිණ. චලනී ගේ නිවාසය හා අවට නිවාස හා දේපළ යටකර පස් කන්දක් පමණක් ඉතිරිව තිබිණ. අදටත් එගම ජීවිත හා දේපළ ඒ පස්කන්ද යටය. චලනී හා ඇගේ පවුලේ අය දිට්වා බිලි ගෙන ඇතැයි යන ආරංචිය ගම්පොළ සාන්ත ජොශප් විද්‍යාලයේ ගුරු සිසු දෙපිරිසටම දරා ගත නොහැකි වෙිදනාවක් මෙන්ම පාඩුවක් විය.

“චලනි අක්කා මට වඩා පන්ති දෙකක් ඉහළින් හිටියේ. එයා ඉකුත් පෙබරවාරි මාසයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියන්න සුදානමින් හිටපු අපේ විද්‍යාලයේ දක්ෂ අක්කා කෙනෙක්. අපි දෙන්නාම අපේ විදුහලේ නවනිපයුම් සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවෝ. ඒ නිසාම අපි හොඳ යෙහෙළියන් වුණා. නව නිපැයුම්වලදී චලනි අක්කා හැම දෙයක් දිහාම අලුත් විදියට බලන්න පුරුදුව සිටි කෙනෙක්. ඒ නිසා හැම වර්ෂයකම ඇය නව නිපයුම් තරග හා ප්‍රදර්ශනවලින් සම්මානයට පාත්‍ර වුණා. චලනි අක්කා එදා ගම්පොළ නගරයේදී හමුවෙලා මට දීපු උපදෙස් චලනි අක්කාගෙන් මට ලැබුණ අන්තිම උපදෙස් කියල මම හිතුවේ නෑ.”

එසේ කියන විටත් මලීෂාගේ දෙනතින් කඳුළු වැටෙමින් තිබුණේය.

චලනි සිදන්ගනා කුමාරතුංග දියණිය ගම්පොළ සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ 11 E පන්තියේ ශිෂ්‍යාවකි. ඇය ගම්පොළට මායිම් ගම්මානයක් වූ මාවතුර ගමේ සිට සැතපුම් විස්සක පමණ දුරක් ගෙවා ගෙන ගම්පොළ සාන්ත ජෝශප් විද්‍යාලයට පැමිණියේ ඇගේ අක්කාද එම විද්‍යාලයේම ඉගෙන ගත් නිසාය. චලනිගේ මවද ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස කොත්මලේ විද්‍යාලයක සේවය කළාය. චලනිගේ පියා උලපනේ ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙකි.
ඉකුත් නොවැම්බර් 27 වැනිදා චලනිලාගේ ගෙදර සිටියේ චලනි ඇගේ මව පියා හා පවුලේ ඥාතියෙක් පමණි. නොවැම්බර් මාසයේ විසිවනදා සිටම එක දිගට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව මහ අනතුරකට අතවනමින් තිබුණේය. නොවැම්බර් 26 චලනිලා ඇතුළු මාවතුර ගමේ අය රාත්‍රියේ නිදා ගත්තේ පසුදා අවදිව සුපුරුදු පරිදි වැඩපළ කරන අපේක්ෂාවෙනි. එහෙත් ඔවුන් සියල්ලෝ නිදි පැදුරේ සිටියදීම ගෙවල් යානවාහන සමගම මහ පොළවට යටකර දමන්නට දිට්වා අකාරුණික වී තිබුණේය.

“අපේ විද්‍යාලයේ ඉන්න මුළු සිසුවියන් සංඛ්‍යාව 2793 යි. ඒ දැරියෝ අතරේ චලනි කියන්නේ විශේෂ ශිෂ්‍යාවක්. ඇය මේ ඉස්කෝලෙට එන්නේ සැතපුම් 20ක පමණ දුරක් ගෙවා ගෙන. ඇය ජීවත් වුණේත් දුෂ්කර ගමකයි. ඒ දුෂ්කරතා හෝ වෙනත් කිසිදු අභියෝගයක් ඇය ඇගේ ජයග්‍රහණවලට බාධාවක් කර ගත්තේ නෑ. අන්න ඒ නිසයි මම ඇය අපි විද්‍යාලයේ සුවිශේෂී ශිෂ්‍යාවක් විදියට හඳුන්වන්නේ. චලනි දැරිය නව නිපයුම්වලින් 2023 ඉඳලා මේ දක්වා වාර්ෂිකව පළාත් මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් සම්මාන දිනාගන්ට සමත් වුණේ. අපි විද්‍යාලයේ නව නිපැයුම් සංගමයේ සාමාජිකාවක වු චලනි දැරිය හැම දෙයක් පිළිබඳවම අලුතෙන් හිතලා අලුතෙන් ඒක නිර්මාණය කරන්න පෙලඹුණ දැරියක්. ඒ අනුව ඇගේ. නව නිපයුම්වලට පේටන්ට් බලපත්‍රය පවා ලබා ගන්න හැකි වී තිබෙනවා. ඇය ජීවතුන් අතර සිටියා නම් අපොස සාපෙළ විභාගයෙන් විෂයයන් නවයට A සමාර්ථ නවයක් ගන්නා විශ්වාසයත් අපිට තිබුණා. ඒ තරමට ඇය හැම අතින්ම දක්ෂ ශිෂ්‍යාවක්.” විදුහල්පතිනි එච්.එම්.පී.පී. හේරත් කීවාය.
චලනි ගේ නව නිපයුම් සෞඛ්‍යය හා විද්‍යා විෂයට අදාළ විය. පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ඈ නව නිපැයුම් තුළින් හිමිකරගත්තාය.

වසරේ දැවැන්තම ඉන්ජිනේරු ප්‍රදර්ශනය වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට වසර 75 ක් සපිරීම වෙනුවෙන් පැවැත්වූ ‘EgiEx ’25’ ප්‍රදර්ශනයට සහභාගී වීමට තෝරා ගත් පාසල් නව නිපැයුම්කරුවන් 50 දෙනා අතරටද තේරිපත් වූ චලනී දින හතරක් පුරා පැවති එම ප්‍රදර්ශනයට සක්‍රිය දායකත්වයදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ගෞරවයටද පාත්‍ර වූවාය.

නිමාලි දිලුක්ෂිකා ධනපාල මහත්මිය චලනි ගේ නව නිපැයුම් ගුරුවරියයි. ඇය චලනී විද්‍යාලයේ හත්වන වසරේ ඉගෙනුම ලබද්දී ඇගේ පන්තිබාර ගුරුතුමියද විය.

“ඇත්තටම චලනි කියන්නේ කලාතුරකින් හමුවන ශිෂ්‍යාවක්. අධ්‍යාපන නව නිපැයුම් පමණක් නොවේ ඈ ගුණයහපත් දරුවෙක්. පාසලක් විදියට අපිටත් රටටත් පාඩුවක් කියලයි මම හිතන්නේ.” යැයි ඇය සඳහන් කළාය.
චලනිගේ ගුණයපත්කම සාන්ත ජෝශප් බාලිකාවට වැඩියෙන් දැනුණ මොහොත ඉකුත් 5දා පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයය. ඈ වෙනුවෙන් ඇගේ සහෝදරිය චලනිට හිමි වූ තෑග්ග ගන්නට වේදිකාවට ගොඩවෙද්දී සියල්ලන්ම මැවී පෙනුණේ පස් අතරේ සැඟව ගිය චලනිය.

“චලනි ඔයා තවමත් අපිත් එක්ක ඉන්නවා.” හැම ශිෂ්‍යාවකගේම මුවින් පිට වූයේ ඒ වදනය.

Previous article“ඇසෙන දේට වඩා දකින දේ විශ්වාස කරන්න.. ” චීනය හා ශ්‍රී ලංකා මිත්‍රත්වය ගැන මෙන්න වෙනස්ම කතාවක්…
Next articleබ්‍රෝ ඉතිං අපි ඔයාට යුදේ දෙට යන්න කිව්වද”රට වෙනුවෙන් ජීවිතේ කොටසක් දීපු ආබාධිත රණවිරුවෙකුට, අද සමාජයෙන් ලැඛෙන්නේ මේ වගේ වචනද ?
error: Content is protected !!
Verified by MonsterInsights