Home දේශිය පුවත් තමන් උපයන ධනය පි.ළි.කා රෝගීන්ට සහ දුප්පත් දරුවන් වෙනුවෙන් දන් දුන් ශ්‍රී...

තමන් උපයන ධනය පි.ළි.කා රෝගීන්ට සහ දුප්පත් දරුවන් වෙනුවෙන් දන් දුන් ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවා කපිතාන් එල්මෝගේ උතුම් වූ මෙහෙවර!

0
3

වීරයෙක් කියන වචනය ඇහුණහම අපේ මතකයට එන්නේ දේශපාලන වේදිකා හදන චරිත හරි නැත්නම් යුධ හමුදා නිලධාරීන් විතරයි. ඒත් අහස් තලයේ අසිරිය අත්පත් කරගනිමින්ම, පොළොවේ අසරණ වුණු මිනිස් සතුන්ගේ කඳුළු පිස දැමූ අපූරු මනුෂ්‍යයෙක් ගැන කතාවක් කියන්නයි මේ සූදානම් වන්නේ. ඔහු නමින් කපිතාන් එල්මෝ ජයවර්ධන; ගුවන් නියමුවෙක්, ප්‍රකට ලේඛකයෙක් වගේම අතිශය නිහතමානී මානව හිතවාදියෙක්.

ඔහුගේ ජීවිතය හැමදාම එක විදිහකට තිබුණේ නැහැ. වයස අවුරුදු දොළහේදී පියාට රැකියාව නැති වීම නිසා, පවුලේ බර කරට ගන්න වයස 14 දී පුංචි කොළුවෙක්ට සිද්ධ වුණා. මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට යන්න කකුලට පාවහන් යුගලක්වත් නැතිව රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ගිය ඔහු, සාමාන්‍ය පෙළ දෙපාරක්ම ෆේල් වෙලා තුන්වැනි පාර කොහොම හරි ගොඩදාගත්තේ ලොකු අරගලයකින්. දවසකට රුපියල් 2.14 ක සොච්චම් පඩියකට ලිපිකරුවෙක් විදිහට ජීවිතයට මුහුණ දෙන්න පටන් ගත්තු එල්මෝගේ හීන ඒකට කොටු වෙලා තිබුණේ නැහැ.

Air Ceylon ආයතනයට අඩිය තැබීමත් සමඟ ඔහුගේ ජීවිතයේ අහස වෙනස් වුණා. සිංගප්පූරු ගුවන් සේවයේ සුප්‍රසිද්ධ Boeing 747 ජම්බෝ ජෙට් යානා පියාසර කරමින් ලෝකයාගේම සම්මානයට පාත්‍ර වූ ඔහු, දශක හතරකට ආසන්න කාලයක් අහසේ රැජිනියන් පාලනය කළා. ඒත් තමන් ලැබූ ඒ අසීමිත සාර්ථකත්වය තමන්ගේ සාක්කුවට විතරක් සීමා කරගන්න එල්මෝ උත්සාහ කළේ නැහැ. 1995 දී බිරිඳ දිල්රුක්ෂි සමඟ එක්ව ඇරඹූ “CandleAid Lanka” පුණ්‍යායතනය හරහා ඔහු අසරණ දරුවන්ට දෛනික ආහාර වේල, අධ්‍යාපන පහසුකම් වගේම පිළිකා රෝගීන් වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් ඉටු කළා.

ඔහු සතුව තිබූ තවත් අපූරු දක්ෂතාවක් වුණේ ලියන කලාවයි. ග්‍රේෂන් සම්මානය දිනූ “Sam’s Story”, රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ “The Last Kingdom of Sinhalay” වැනි කෘති රැසක් රචනා කළ ඔහු, ඒ සියලු පොත් විකිණීමෙන් ලැබුණු මුදල් පවා පරිත්‍යාග කළේ අසරණ මිනිසුන්ගේ උන්නතිය වෙනුවෙන්මයි. “Reader’s Digest” සඟරාව විසින් ඔහුව “Everyday Hero” ලෙස නම් කිරීමෙන්ම ඔහුගේ සේවයේ වටිනාකම කෙසේදැයි පැහැදිලි වෙනවා.

ජීවිතය කියන්නේ තමන් විතරක් උඩට යෑම නෙවෙයි, තමන්ට ලැබුණු ඉණිමඟකින් තවත් කෙනෙක්ව ඉස්මතු කරවීම කියන සත්‍යය කපිතාන් එල්මෝ ජයවර්ධන තම ක්‍රියාවෙන් ලෝකයටම පෙන්වා දීලා තියෙනවා.

Previous articleඅම්මලාට දුන් පොරොන්දු මහපාරේදීම බොඳව ගිය හැටි..ක්ලාස් ඉවරවෙලා ආයෙත් ගෙදර එන්නම් කිව්ව O/L ලියන්න හිටපු සිසුන් දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.
Next articleකිලෝමීටර් ගණනාවක් පයින් ගොස් විෂයන් 9 ම තනියම උගන්වා දරුවන්ගේ දෑස් පාදන ගලමුදුන පාසල වෙනුවෙන් ජීවිතය කැප කළ ජනක සර්ගේ කතාව!
error: Content is protected !!
Verified by MonsterInsights