“ක්ලාස් ඉවරවෙලා, ගෙදර එන්නම් අම්මෙ…” කියලා ගෙදරින් පිටත්ව ගිය ඒ පුතුන් දෙදෙනා ආපසු ආවේ නිසල සිරුරුවලින්. හෙට දවසේ රටක් බබළවන්න, අකුරු කරපු ඒ අහිංසක දරුවන් දෙදෙනාගේ ජීවිත මඩකලපුව කෝට්ටේකල්ලාර් මහපාර මැද සදහටම නිහඬ වෙලා ගියේ මුළු මනුෂ්‍ය සංහතියම කම්පා කරවමින්.
ඊයේ (අගෝස්තු 22) රෑ 9.21ට විතර මඩකලපුව කෝට්ටේකල්ලාර් ප්‍රධාන මාර්ගයේ, කන්නකී අම්මන් කෝවිල ලඟ සිද්ධ වුණු මේ අනතුර ඇත්තටම හදවත පාරවන සුළුයි. කල්මුනේ දෙසට අධික වේගයෙන් යතුරුපැදි දෙකකින් ඉගිලී ගිය තරුණයින් සිව්දෙනෙකුගේ නොසැලකිලිමත්කම නිසා, පන්ති ගොස් නිවෙස් බලා යන්න පාර මාරුවෙන්න බලා සිටි අහිංසක දරුවන් පිරිසකගේ ජීවිත අමාරුවක වැටුණා. වේගය පාලනය කරගන්න බැරිව එකිනෙක ගැටුණු යතුරුපැදිවලින් එකක් විසිවී ගියේ අර අහිංසක දරුවන්ගේ ඇඟ මතටමයි.
මේ බිහිසුණු මොහොතේදීම 18 හැවිරිදි කිෂොන් පුතා ඒ භූමියේදීම අවසන් හුස්ම හෙළද්දී, මාරාන්තික තුවාල ලැබූ 17 හැවිරිදි කතිසන් පුතා දැඩි සත්කාර ඒකකයේදී අද (23) උදෑසන සියලු බලාපොරොත්තු අතහැරලා දාලා සදහටම දෙනෙත් පියාගත්තා. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීලා තවත් පාසල් දරුවන් පස් දෙනෙක්ම බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
විභාගෙට ලෑස්ති වෙලා, පොත් බෑගය උරහිසේ දාගෙන, අනාගතේ ගැන කොච්චර නම් සිහින දකින්න ඇද්ද? ඒත් මේ මොහොතේ ඒ මව්පියන්ගේ දුක වචනවලට හරවන්න පුළුවන්ද? අධික වේගය සහ නොසැලකිලිමත්කම කියන්නේ අද තවත් අහිංසක ජීවිත කීයක් නම් බිලිගත්තාද?
මෙම අනතුර සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මියගිය දරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම, මව්පියන්ට මේ දරාගැනීමට නොහැකි දුක උසුලාගන්නට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!









