මුළු රටම දිට්වා සුළි කුණාටුවේ බිහිසුණු බවින් වෙලී යද්දී, ඒ ඛේදවාචකයේ අඳුරුතම මතකය සනිටුහන් වූයේ ගම්පොළ නගරයෙනි.
2025 නොවැම්බර් 27 වැනිදා.. බොහෝ දෙනෙකුගේ ජීවිත සදහටම වෙනස් කළ ඒ බිහිසුණු දිනයේ ගම්පොළ නගරය සෙමින් සෙමින් ජල රකුසාට බිලි වෙමින් තිබිණි.
හේලස්සගේ කරුණාවතී මාතාව එදා සිතුවේ තම දෙමහල් නිවස සියල්ලන්ටම සුරක්ෂිත තෝතැන්නක් වනු ඇති බවයි. නායයෑම් අනතුරු ඇඟවීම් නිසා බියට පත් වූ ඇගේ ඥාතීන්ද ආරක්ෂාව පතා ඇය වෙත පැමිණියේ මහත් බලාපොරොත්තුවකිනි.
එහෙත්, සොබාදහම ඔවුන්ට එතරම් කරුණාවන්ත වූයේ නැත. ගම්පොළ නගරයට ඇදහැලුණු ඒ නොනවත්වා ධාරාණිපාත වර්ෂාව ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ජලකඳට බිලි කළේය.
මරණය අභියස සිටි ඒ අසරණයින් තම හිතවතුන් වෙත යැවූ අවසන් හඬ පණිවුඩය ඇසූ ඕනෑම අයෙකුගේ දෑස් කඳුළින් තෙත් වීම නිතැතින්ම සිදුවන්නකි.
“හුස්ම හිරවෙලා මැරෙන්න යන්නේ.. තව අන්තිම දශමේ ඉන්නේ… අනේ මොනවා හරි කරන්න…”
ජල රකුසා විසින් තම හුස්ම පොද පැහැර ගන්නා මොහොතේ ඔවුන් නැගූ ඒ විලාපය, අදටත් ගම්පොළ නගරයේ දෝංකාර දෙන බව ගම්වැසියන් පවසන්නේ ඉකිබිඳිමිනි.
ගම්පොළ නගරය පුරා විසිරී ඇති සුන්බුන් අතර, මේ අකාලයේ නිවී ගිය ජීවිතවල මතකය තවමත් ඉතිරිව පවතී. නොසිතූ මොහොතක ජලයෙන් යටවූ ගම්පොළ නගරය අදත් ඒ අමිහිරි මතකය දරාගෙන බලා සිටියි.
BBC පුවත් සේවයෙන්-










