|ප්‍රවීණ රංගන ශිල්පිනි බී. අයිලින් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 93 හැවිරිදි වියෙහි පසුවිය.
අයිලින් ගුණතිලක නාමය සිනමා නිළියක සේ ම ගායිකාවක ලෙස ද ප්‍රකටය.
ඇය සිනමාවට පැමිණෙනුයේ, ‘චාන්දනී සෙනෙවිරත්න’ මැයෙනි.
මෙරට සිටි විශිෂ්ට රංගධරයෙකු වූ බර්ටි ගුණතිලකගේ නැගණියක වූ ඇය, නැසීගිය ප්‍රකට නළු ජෝශප් සෙනෙවිරත්නගේ බිරිඳයි.
මහනුවර අම්පිටියේ දී ජන්මය ලත් ඇය අම්පිටියේ සෙමනේරියෙන් අධ්‍යාපනය ලබා ඇත.
ඇගේ කලා ගමන සිදුවන්නේ, සිය වැඩිමල් සොයුරු බර්ටි ගුණතිලකයන්ගෙ මාර්ගයෙන් බව කියවේ. ඒ, කුඩා අවදියේ ‘මල් කුමාරි’ නැමැති වේදිකා නාට්‍යයක රඟපෑමෙනි.
පසුව ‘දොම්පෙ ආයා’ සහ ‘නගර ශෝභනී’ යනාදී ප්‍රසිද්ධ වේදිකා නාට්‍යය කිහිපයක ම රඟපෑ ඇය ගුවන්විදුලිය සමගින් ද නාට්‍ය ශිල්පිණියක සහ නිවේදිකාවක ලෙස කටයුතු කර තිබේ.
අයිලින් ගුණතිලකයන්ගේ සිනමා ගමන සිදුවන්නේ, ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයෙනි.
ඇය එහි ජෝශප් සෙනෙවිරත්න සමග ප්‍රහසනාත්මක චරිතයක් නිරූපණය කරයි.
‘අයිලින් ගුණතිලක’ ‘චාන්දනී’ නමින් සිය නාමය වෙනස් කරගනුයේ, සිය ඥාතිවරයෙකුගේ ඉල්ලීම පරිදි බව කියවේ.
එලෙස නම වෙනස් කරගත් ඇය, පසුකාලීනව ජෝශප් සෙනෙවිරත්න හා විවාහ වීමෙන් පසුව ‘චාන්දනී සෙනෙවිරත්න’ ලෙස සිනමාවේ ප්‍රකට විය.
‘එදා රෑ’, ‘ඩිංගිරි මැණිකා’, ‘තරංගා’, ‘මොණරතැන්න’ සහ ‘දීපාංජලී’ වැනි සිනමා නිර්මාණ කිහිපයකට ම අයිලින් ගුණතිලකයන් (චාන්දනී සෙනෙවිරත්න) රංගනයෙන් දායක විය.
තොරතුරු සහ ඡායාරූප : දයාන් විතාරණයන්ගේ පළකිරීමක් ඇසුරිනි
#ChannelE










