අපේ රටෙන් බිහිවෙන දක්ෂ උඩරට නැට්ටුවෙක්, එහෙමත් නැත්නම් දක්ෂ වාදන ශිල්පියෙක්, තමන් දන්න හැම ශිල්පයක්ම ඉදිරිපත් කරන්න කැමති අවස්ථාවක් තමයි කන්ද උඩරට ඇසළ පෙරහැර කියලා කියන්නේ. නර්තන ශිල්පියෙක් විදිහට හරි, වාදන ශිල්පියෙක් විදිහට හරි ඇසළ පෙරහැරට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක උරුමයත් එක්ක ලැබෙන දක්ෂතාවය සහ වාසනාවේ අපූරු සුසංයෝගයක්. එහෙම විරල අවස්ථාවක් තමන්ගේ කරගන්න මුස්ලිම් ජාතික තරුණයෙකුට අවස්ථාව හිමිවෙනවා කියන්නේ ඇත්ත වශයෙන්ම අතිශය දුර්ලභ අවස්ථාවක්.
ඒ වාසනාවන්ත තරුණයා මෙසේ අදහස් දැක්වුවා
“මගේ නම මොහොමඩ් ෆයිසින් ජෙෆ්රි. මට අවුරුදු 23ක් වෙනවා. මං පාසල් ගියේ අලවතුගොඩ ජාතික පාසලට. මං මුලින්ම දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ 2022 අවුරුද්දේ මහනුවර ශ්‍රී මහා නාථ දේවාලයේ අංජන සර්ගේ රබන් නර්තනයේ බටනලා වාදන ශිල්පියෙක් විදිහට තමයි මං මුලින්ම දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ.”
“දරුවන් තිදෙනෙක් ඉන්න පවුලක වැඩිමලා වුණු මොහොමඩ් ජෙෆ්රි බටනලා ශිල්පයට අත්පොත් තබන්නේ පාසල් කාලයේදීමයි.”
“බටනලාව පුරුදු වුණේ ඉස්කෝලේ මම තූර්ය වාදක කණ්ඩාය නියෝජනය කරා. ඒකේ බටනලා ශිල්පියෙක් විදිහට තමයි මං ඒක පුරුදු වුණේ. ඒකෙන් පස්සේ තමා මම පළවෙනියට අංජන සර්ගේ රබන් නර්තනයේ බටනලා වාදන ශිල්පියෙක් විදිහට පෙරහැරට ඉදිරිපත් වුණේ. ඊට පස්සේ මට හසිත රාමනායක සර් හම්බවුණා. ඉතින් හසිත රාමනායක සර් එක්ක මම දැනට පෙරහැර 100කට වඩා අධික ප්‍රමාණයක් සර් එක්ක වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මම එතනින් එහාට මහනුවර ශ්‍රී මහා කතරගම් දේවාලය නියෝජනය කරමින් මහනුවර ඇසළ මහා පෙරහැරේ පතුරු නර්තන කණ්ඩායමේ බටනලා වාදන ශිල්පියෙක් විදිහට දැනට අවුරුදු තුනක් එක දිගට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.”
“පෙරහැර ගණනාවකට සහභාගි වුණු මොහොමඩ් තමන්ගේ ශිල්පය වෙනුවෙන් අතිදක්ෂයෙක්. ඒ විතරක් නෙමෙයි, ඔහුගේම දක්ෂතාවය අවස්ථා ගණනාවකදීම ඇගයීමට ලක් වෙලා තියෙනවා.”
“ඉතින් මට මේ වන විට ජනාධිපති සම්මානත් ලැබිලා තියෙනවා. ඉතින් මම කියන්නේ දැන් ගොඩක් අය බලාගෙන ඉන්නවා මේ දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න. මම කියන්නේ බැරි නැහැ, ඔය කට්ටියටත් පුළුවන්. ගොඩක් ශිල්පීන්ගේ හීනයක් ඒක. මගේ මගේ ජීවිතේ තියෙන තාක් කල් මට පුළුවන් විදිහට මං දළදා පෙරහැරට අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා. මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා මගේ අම්මටයි තාත්තටයි. මට මේ දේට යන්න ගොඩක් මට ගොඩක් කැප කිරීමක් කරනවා ඒ කට්ටිය. ඉතින් මං ඒ කට්ටියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”
“මගේ ජීවිතේ තියෙනකම් දළදා පෙරහැරට එනවා, මේ ප්‍රාර්ථනය හැමදාකටම යථාර්ථයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.”









