රන්දෝලි පෙරහැරේ අන්තිමට ගමන් කරන සුදු ඇඳගත්ත මේ කාන්තාවන් දෙන්නා ගැන දන්නවද..
දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන තේවාවන් අතරේ ඉතාම දුර්ලභ වගේම අතිශය පූජනීය රාජකාරියක් ඉටු කරන්නේ පාරම්පරික කාන්තා නිලධාරීන් දෙන්නා
කන්ද උඩරට මහනුවර දළදා පෙරහැරේ රන්දෝලි පෙරහැර අවසන් වන මොහොත ඔබ දැකලා තියෙනවද? නෙත් සිත් පිනවන අලි ඇතුන්, බෙර වයන්නන්, නර්තන ශිල්පීන් සියල්ලන්ම ගමන් කර අවසන් වූ පසු, පෙරහැරේ අන්තිමටම ගමන් කරන, සුදු පැහැති ඔසරියෙන් සැරසුණු, ශාන්ත පෙනුමැති කාන්තාවන් දෙදෙනෙක් ඔබ දැක ඇති.
ඒ ශ්‍රී ලංකාවේ අති පූජනීය සංස්කෘතික උරුමයක අභිමානවත් නියෝජිතයන් වන “ආලත්ති අම්මාවරුන්”.
දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන තේවාවන් අතරේ ඉතාම දුර්ලභ, ඒ වගේම අතිශය පූජනීය රාජකාරියක් ඉටු කරන මේ පාරම්පරික කාන්තා නිලධාරීන් දෙදෙනා ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අද අපි මේ කතා කරන්න හදන්නේ ඒ නිහඬ, උතුම් සේවය පිටුපස තියෙන නොකිව් කතාවයි.
“ආලත්ති” කියන්නේ මොකක්ද? “ආලත්ති” කියන්නේ දෙමළ භාෂාවෙන් පැමිණි වචනයක්. එහි තේරුම “ආශිර්වාද කිරීම” යන්නයි. ආලත්ති බෑම කියන්නේ ඒ ආශිර්වාද කිරීමේ පූජනීය චාරිත්‍රයටයි.
පැරණි සිංහල රජ සමයේ, මහ රජතුමා උදෑසන සහ දවල් ආහාර ගැනීමට පෙර රජතුමාට ආශිර්වාද කිරීමේ චාරිත්‍රයක් පැවතුණා. ඒ වෙනුවෙන් කැපවුණු කාන්තා පාර්ශ්වය හැඳින්වුණේ ආලත්ති අම්මලා ලෙසයි.
නමුත් මේ චාරිත්‍රය වෙනස් වූ අපූරු ඓතිහාසික සංසිද්ධියක් තියෙනවා. මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඉතාම වටිනා තීරණයක් ගත්තා. “මට වඩා උසස් වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි” කියා පවසමින්, තමන්ට ලැබුණු ඒ ආලත්ති තේවාව බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකරන ලෙස එතුමා රාජ ආඥාවක් පැනවූවා. එදා ඉඳන් අද වෙනකම්ම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආලත්ති තේවාව සිදු කරන්නේ අපේ දළදා හාමුදුරුවන් වෙනුවෙනි.
ආලත්ති බෑමේ සංකල්පය භාරතයෙන් (ඉන්දියාවෙන්) ලංකාවට ආ බව පැරණි ලිපි ලේඛනවල සඳහන් වෙනවා. ඉන්දියාවේ දේවාල ආශ්‍රිතව මෙවැනි රාජකාරි කළ කාන්තාවන් හැඳින්වූයේ “දේවදාසියන්” ලෙසයි. නමුත් ඉන්දියානු දේවදාසී සංකල්පයත්, අපේ ලංකාවේ ආලත්ති අම්මාවරුන්ගේ කාර්යභාරයත් කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ.
ලංකාවේ ආලත්ති අම්මාවරුන්ගේ තියෙන විශේෂම දේ තමයි, ඔවුන් අනෙකුත් දේවාලවල දෙවියන් උදෙසා ආලත්ති බෑවද, මහනුවර දළදා මාලිගයේදී ඒ තේවාව සිදු කරන්නේ සාංසාරික දුකෙන් මුදවාලන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වීමයි. එය බෞද්ධ ධර්මයත්, ලාංකේය සංස්කෘතික නායකත්වයත් එකිනෙක මුසු වූ අතිපූජනීය අවස්ථාවක්.
දළදා මාලිගාවේ ඇතුල් කට්ටලේ රාජකාරි කරන සමස්ත නිලධාරීන් අතරින් එකම කාන්තා නිලධාරීන් දෙදෙනා වන්නේ මෙන්න මේ ආලත්ති අම්මාවරුන් දෙදෙනා විතරයි.
ඔවුන්ගේ සේවය සාමාන්‍ය බැතිමතුන්ට දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.
දළදා තේවාව අවසානයේ ගන්ධ කුටියේ දොර අඩක් විවෘත වෙනවා.
තේවා භාර නිලධාරීන් මහ පහනෙන් තෙමාගත් පහන් තිරයක්, එළියේ රිදී දොරටුව ළඟ සිටින ආලත්ති අම්මලා දෙදෙනාට ලබා දෙනවා.
ඔවුන් පිටත සිට පහන් කරකවා ආලත්ති බා ඇතුළට පැමිණෙනවා.
ඉන්පසු මල් බන්දේසියෙන් මල් මිටක් ගෙන දළදා වහන්සේට මල් පූජා කර, නැවත එළියට ඇවිත් වන්දනා කරනවා.
මේ පූජනීය චාරිත්‍රය සෑම බදාදා දිනකම, මංගල්‍ය දිනවල, පෙරහැර දිනවල මෙන්ම නානුමුර, වෙසක්, පොසොන්, දුරුතු වැනි පූජනීය පෝය දිනවලදීත් නොවැරදීම සිදු කෙරෙනවා.
ඊට අමතරව, අලුත් සහල් ගෙවදින දිනයේදී ඇතා දෙපස චාමර සලමින් ගුරුදෙනියේ සිට නාථ දේවාලයට පැමිණෙන්නේත්, දළදා මාලිගයේ මුළුතැන්ගෙට අවශ්‍ය පිටි කොටා දෙන්නේත් මොවුන් විසිනුයි. ඒ වෙනුවෙන් ඔවුන්ට රිදී නැලියෙන් ගත් හාල් නැලියක් ගබඩාවෙන් හිමිවන පාරම්පරික සිරිතක්ද තියෙනවා.
දළදා පෙරහැර අවසානයේදී පැවැත්වෙන තවත් සුවිශේෂී ශාන්තිකර්මයක් තමයි වලියක් මංගල්‍යය. මහ විෂ්ණු දේවාලයේ පැවැත්වෙන මෙම ශාන්තිකර්මය සඳහා දළදා පෙරහැරට දායක වූ යක්දෙස්සන්ට හෝ බෙර වාදකයන්ට සහභාගී වීමට අවසර ලැබෙන්නේ නැහැ.
නමුත්, ඒ නීතිය ආලත්ති අම්මාවරුන්ට අදාළ නැහැ. දින 7ක් පුරා පැවැත්වෙන මේ වලියක් මංගල්‍යයේදී ආලත්ති අම්මාවරුන්ගේ සහභාගීත්වය අනිවාර්ය වන අතර, එහිදී “ආයුබෝවේවා” යැයි පවසමින් ආශිර්වාද කිරීමේ බලය හිමිවන්නේත් මේ අම්මාවරුන්ටයි.
වර්තමානයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සේවය කරන ආලත්ති අම්මාවරුන් දෙදෙනා පැවත එන්නේ තල්වත්ත පරම්පරාවෙන්.
දළදා මාලිගයේ ආලත්ති අම්මා කෙනෙකු ලෙස පත්වීමට සපිරිය යුතු විශේෂ සුදුසුකම් කිහිපයක්ම තියෙනවා
ඇය අනිවාර්යයෙන්ම ගොවිගම කුලයේ කෙනෙකු විය යුතුයි.
ඇයගේ වයස අවුරුදු 40 ඉක්මවා තිබිය යුතුයි.
වර්තමානයේ සේවයේ යෙදී සිටින අම්මාවරුන් දෙදෙනාම අවුරුදු 50ට වැඩි, පරිණත, පූජනීය වගකීම මැනවින් හඳුනන තැන්පත් කාන්තාවන්.
කතරගම දේවාලයේදී වල්ලිඅම්මාගේ කතාව හා බැඳෙමින් කතරගම දෙවියන්ට සේවය කරන ආලත්ති අම්මාවරුන් මෙන්ම, මහනුවර දළදා මාලිගයේ දළදා හාමුදුරුවන්ට සේවය කරන ආලත්ති අම්මාවරුන්ද අපේ රටේ ඓතිහාසික හා සංස්කෘතික අනන්‍යතාවයේ අනුපමේය සංකේතයන්.









