මහනුවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වඩමවන පවිත්‍ර මොහොතක, තම හිස්වැසුම ගලවා දෑත් එකතු කර බිම බලා වැඳ වැටුණු කාන්තා පොලිස් නිලධාරිනිය මේ දිනවල සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. ධාරානිපාත වැස්සේ තෙමෙමින්, දැඩි කැපවීමකින් යුතුව එම අවස්ථාවේ රාජකාරියේ නිරත වූ ඇය කාන්තා උප පොලිස් පරීක්ෂිකා මානෙල් මහත්මියයි.
ඇය සාමාන්‍ය පොලිස් නිලධාරිනියකට වඩා බෙහෙවින් වගකීම් සහගත තැනකයි කටයුතු කරන්නේ. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ප්‍රධාන ආරක්ෂක රාජකාරි මෙහෙයවීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ ඇයටයි. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක්වන මෙවන් මහා මංගල්‍යයක ආරක්ෂාව තහවුරු කිරීම, සන්නිවේදන කටයුතු පාලනය කිරීම සහ සැමගේ සහයෝගයෙන් යුතුව රාජකාරි කළමනාකරණය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ. වැස්සේ තෙමෙමින් වුවද, තම වෝකි ටෝකියෙන් අවශ්‍ය නියෝග ලබාදෙමින් ඇය මුළු පිරිසම විනයගරුකව මෙහෙයවූ ආකාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා.
මෙම අභියෝගාත්මක රාජකාරිය පිටුපස ඇත්තේ ඇයගේ දීර්ඝ අත්දැකීම් බහුල සේවා කාලයයි. රටේ උතුරු යුද සමයේදී අවි අතැතිව අතිශය අවදානම් කලාපවල සක්‍රීය ආරක්ෂක රාජකාරිවල නිරත වූ අත්දැකීම් ඇයට තිබෙනවා. පසුව මහනුවර පොලිස් කොට්ඨාශයට පැමිණි ඇය, අද වන විට කාන්තා පොලිස් නිලධාරිනියන්ට ක්ෂේත්‍ර රාජකාරිවලදී මෙන්ම ආරක්ෂක කළමනාකරණයේදී ලබාදිය හැකි ආදර්ශය මොනවට කියාපාන චරිතයක් බවට පත්ව තිබෙනවා.
රාජකාරිය මෙන්ම දැඩි භක්තියත් එකසේ අත්වැල් බැඳගත් මෙවන් දිරිය පොලිස් නිලධාරිනියන් අපේ රටේ ආරක්ෂක අංශවලටත්, සමස්ත සමාජයටත් සැබෑ ආඩම්බරයක්.









