කැස්සට නොවරදිනම දිව ඔසුවක් මෙන්න. කටුවැල්බටු ගැන ඔබ නොදත් කතාව

කැස්සට නොවරදිනම දිව ඔසුවක් මෙන්න. කටුවැල්බටු ගැන ඔබ නොදත් කතාව

 

 

ඖෂධ අතර මේ නම ඔබට ගොඩක් සුපුරුදු ඇති.. මේ කියන්න යන්නේ මොනවා ගැනද..?

කැස්සට නොවරදින විසඳුම් ලැබෙන කටුවැල්බටු ගැන ඔබ අසා ඇති.. ඒත් සමහරවිට කටුවැල්බටු මේ තරම් ගුණදායකයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති..

ඖෂධ ද්‍රව්‍යයක් ලෙස දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කටුවැල්බටු ශාකය අද ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන සහ විශාල වශයෙන් ආනයනය කරන ඖෂධයක්.. අපට හුරුපුරුදු පස්පංගුව පැකැට්ටුව තුළ ද මෙම කටුවැල්බටු ශාකය අන්තර්ගත වෙන එක සාමාන්‍ය දෙයක්..

සාමාන්‍යයෙන් බටු ගසකට සමාන පෙනුමෙන් යුත් බිම බදාගෙන පැතිරී වැඩෙන පඳුරක් වන අතර, ඉතා ගැඹුරු අයුරින් කොටස්වලට බෙදුණු පත්‍රවල හා පැළෑටියේ සෑම කොටසකම පාහේ තියුණු කටු දැකගන්න ලැබෙනවා…

පත්‍රවල මැද නාරටිය දිගේ හා නටුවල, දිග කටු පිහිටන අතර මේවා ඍජු සහ තද කහ පැහැයෙන් යුක්තයි… කෝණාකාරව විහිදුණු දම් පැහැ පෙති ඇති මලෙහි, මැද එකට ගොනු වූ කහපාට රේණු කැපී පෙනෙනවා…

මල කිහිපයක් පොකුරක් ලෙස පවතින අතර, විෂ්කම්භය 02cm පමණ වන ගෝලාකාර කොළ පැහැති ගෙඩි ඉදුණු විට කහ පැහැයට හැරෙයි.. එහි බීජ රාශියක් වන අතර, මෙම ශාකයේ මල් හට ගැනීම වසර පුරාම සිදුවෙනවා.. ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේ ඉතා හොඳින් වැඩෙන මෙය විශේෂයෙන් වියළි, නිසරු මුඩු බිම්වල සරුවට වැඩෙනවා..

සම්පූර්ණ පැළෑටියම මෙහිදී ඖෂධ සඳහා යොදා ගන්නා අතර, එහි අන්තර්ගත ඖෂධීය ගුණ ලෙස,

– කැස්ස, ඇදුම, ඉක්කාව, පීනස, සෙම්ප්‍රතිශ්‍යාව හා උණට ගුණදායකයි.
– උගුරට හිතකර ඖෂධයකි.
– පණු රෝග වලට සහ මුත්‍රා රෝග වලට ද ගුණදායකයි.
– බඩගින්න ඇති කරයි.

කටුවැල්බටු ශාකය යොදාගෙන සිදුකරන අත්බෙහෙත් කිහිපයක් මෙන්න මේ විදිහටත් ඔබට සකසාගන්නට පුළුවන්..

– කැස්සට
1 කටුවැල්බටු ආඩතෝඩ කොළ සමඟ තම්බා බීම.
2 කටුවැල්බටු, වැල්මී සමඟ තම්බා සූකිරි සමඟ බීම.
3 කටුවැල්බටු කසාය තිප්පිලි කුඩු සමඟ පානය කිරීම.

– දත් කැක්කුමට
1 කටුවැල්බටු ඇට කබලේ බැද කුඩුකර, පොල්කටු අඟුරු මත හෙළා දුම් ඇල්ලීම.

– මුත්‍රා යෑම අඩු විට
1 කටුවැල්බටු තම්බා බීමට දීම.
– උඳුගොව්වන් කෑමට
1 කටුවැල්බටු ඇට අඹරා හිසේ ආලේප කිරීම.

වගා කිරීම

බීජ මඟින් ඉතා පහසුවෙන් වගා කළ හැකි මෙය තවාන් බීජ පැළ මඟින් හෝ කෙළින්ම ක්ෂේත්‍රයේ ඉසීමෙන් මෙය කළ හැකියි. පළමුව බීජ එහි සෙවල ගතිය යනතුරු හොඳින් සෝදා පැය 12 ක් පමණ ජලයේ බහා තබා ගැනීමෙන් ප්‍රරෝහණය ඉක්මන් කරවා ගත හැකියි. බීජ පැළවීමට ගතවන කාලය දින 10 කට වඩා ගතවන බැවින් අධික වැසි සමයේදී ක්ෂේත්‍රයට බීජ ඉසීම නොකළ යුතුයි. මනාව හිරු එළිය සහිත හා පස තරමක් වියළි අවස්ථාවේ දී මෙය කිරීම සුදුසුයි. අඩි 3 × 3 පරතර ඇති අඩියක් ගැඹුරු වළවල් කොම්පෝස්ට් පොහොර පොල්කටු 2 ක් මිශ්‍ර පසින් පුරවා ජලය යොදා, සති දෙකක් වයසැති පැළ ප්‍රවේශමෙන් ගලවා සිටුවන්න. මුලදී දිනපතා ජලය යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. සති දෙකකට පසු ක්‍රම ක්‍රමයෙන් ජලය යෙදීම අඩු කරන්න. ජලය වැඩි වූ විට පැළ කුණුවී මැරෙන්නට ඉඩ ඇත.

අස්වනු නෙළීම

පඳුරු පැතිරී ගෙඩි මෝරා කහ පැහැ ගැහෙන කාලයේදී සම්පූර්ණ පැළෑටිය ගලවා හෝ මුලෙන් වෙන්කර හෝ පවනේ වියළා ගන්න. වැල් බැඳ එල්ලා වියළීම වඩා සාර්ථක ක්‍රමයයි. මනාව වැඩුණු පඳුරකින් වියළි කටුවැල්බටු 250 g ක් පමණ ලැබෙනවා. කෙටිකාලීන බෝගයක් වන කටුවැල්බටු කෘෂි භෝග වගාවට නුසුදුසු කටුක පරිසරවලදී හොඳින් වැඩෙන බැවින් හා අක්කරයක පමණ වගාවකින් මාස 03 ක් ඇතුළත විශාල ආදායමක් ලබා ගත හැකියි. ඒ නිසා ආර්ථික වශයෙන් ඉතා ඵලදායි ඖෂධ ශාකයකි.

Uncategorized