Home Uncategorized ශරීර වර්ණය ගැන හිතන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු බාර්ලි ගැන නොඇසූ කතාවක්...

ශරීර වර්ණය ගැන හිතන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු බාර්ලි ගැන නොඇසූ කතාවක් මෙන්න

0
71

ශරීර වර්ණය රැක දෙන බාර්ලි
=========================

නිරෝගී සමක් යනු “සුදු සමක්” නොවේ.
මෙය වරදවා අර්ථ දක්වා ගත් බොහෝ දෙනා පිලිකා කාරක සම සුදු කරන ආලේපන භාවිතා කරමින්, තමන්ගේ සමේ නිරෝගීකම නැති කරගෙන ඉක්මනින් වයස්ගත පෙනුමක් උරුම කර ගැනීම අභාග්‍යයකි.

හම තලඑළලු වුව ද, සුදු වුවද හමේ කාන්තිය නැති නම් ඒ නිරෝගී සමක් ලෙස නොසැලකේ.

ගොයම් පදුරු වලට සමාන ශාකයකින් ගන්නා බාර්ලි ඇට හොදින් තම්බා ලබා ගත් වතුර ශරීර වර්ණය රකින ඉතා වටිනා බීමකි.

ඇට සහිත ව බාර්ලි කැඳ බීවහොත් වාත වේදනා වැනි රුජා ඇති වේ.
එසේම මළ පදාර්ථය වැඩිවේ.
එසේ වන්නේ බාර්ලි ඇටවල කෙදි සහිත බව නිසයි.
මේ හේතුකොට ගෙන මළබද්ධය ඇති විට බාර්ලි ඇට හොඳින් තම්බා ගත් කැඳ බීම ගුණ දෙයි.

මුත්‍ර පිටකිරීම මැනවින් සිදු කරන නිසා රුධිරයේ ඇති අපද්‍රව්‍ය මැනවින් පිට කර ශරීරය පිරිසිදු කරයි. ඒ කරුණ නිසා ශරීර වර්ණය මැනවින් රැකේ.
මෙයින් අදහස් කරනුයේ උපතින් ගෙනා ශරීර වර්ණය වෙනස් කිරීම නොව සමේ ස්වභාවික වර්ණය මැනැවින් ආරක්ෂා කරන බවයි.

ශීතල ගුණ දෙන නිසා මෙන්ම ශරීරයේ මළ කොටස් බැහැර කරන නිසා අම්ලපිත්ත රෝගයේ දී බඩේ ඇතිවන දැවිල්ල මැඩ පැවැත්වීම පිණිස ද හොඳ පථ්‍යයක් සේ බාර්ලි කැඳ යෙදිය හැකියි.

සෙම මේදස් අඩු කරන ගුණ නිසා බාර්ලි කැඳ පීනස් රෝගීන්ටත්, ඇදුම රෝගීන්ටවත් යෙදීමෙන් අහිතක් ඇති නොවේ.
රත්පිත් රෝගීන්ටත් ගුණදායකය.

ගුණ වශයෙන්, බාර්ලි ශීත ගුණ යුත් දෙයකි. සැඟවුණු කසට රසයක් ඇති මිහිරි රස යුක්තයි. බාර්ලි ශීත ගුණ සහිත වුවත් සෙම් වඩන්නේ නැතිව සෙම කපා හරියි. මේ නිසා ශරීරයේ වැඩි තෙල් ගතිය ඇති අයට බාර්ලි තම්බා ගත් වතුර බීම ගුණයි. ඒ ගුණය ලැබෙන්නේ බාර්ලි වතුර කිරි නොදා බිව් විටයි. කිරි මිශ්‍ර වූ විට මේදස් අඩු කිරීම වෙනුවට තෙල් ගතිය සිරුරේ වැඩි වේ.

වකුගඩු පීඩා ඇති විට, මුත්‍ර පෙරීම අඩු වී තිබේ නම් බාර්ලි ඇට තම්බා ගත් වතුර බීමෙන් මුත්‍ර පිටවීම ඉක්මන් වේ.
මේ නිසා මුත්‍ර දැවිල්ලට බෙහෙත් ගන්නා අතර හොඳ පථ්‍යයක් සේ බාර්ලි තම්බා ගත් වතුර බීමට ගත හැකියි.

කුෂ්ඨ හා වණ තුවාල ඇති විටද බාර්ලි තම්බා බීම ගුණ වේ.
රූක්ෂ ගුණ යුත් ආහාරයක් නිසා සෙම් බහුල රෝගවල දී බාර්ලි බීම ගුණ දායකය.
මොළයට හිතයි.
බඩගින්න වඩයි.
එහෙත් ඇට සමඟ බීමට ගතහොත් බඩගින්න නොවඩා බඩේ පිපීම උපදවයි.

ඇතැම් අය ගේ උගුරේ සෙම හිරවීම නිසා නිතර නිතර උගුර පාදන්නට ඕනෑ කමක් ඇති වේ.
එබඳු අයටත් බාර්ලි ගුණ දෙන බේතකි.

ලේ පිරිසිදු කරන, ශරීරය නිරෝගී කරන බාර්ලි තැම්බූ වතුර ඔබත් සතියකට දෙතුන් වතාවක් හෝ ශරීරයට එකතු කර ගන්න.

✍️හසනි ලේල්වල

Previous articleආතරයිටීස් රෝගය නිසා එන්න පුලුවන් මේ ආබාධ ගැනත් ඔබ දැන සිටියාද ? ඇස් ගැන හිතන ඔබ අනිවාර්යයෙන්ම බලන්න
Next articleකරවිල රෑට කෑවොත් වෙන දේ දන්නවද ?
error: Content is protected !!
Verified by MonsterInsights