🛑මෙවර වෙසක් එකට “හොල්මන් මන්දිර සහ භූත ගුහා” තහනම්: නීතිය තද වෙයි!
වෙසක් උත්සව සමය තුළ “භූත ගුහා” සහ “හොල්මන් මන්දිර” වැනි ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් නොගැලපෙන අංග සංවිධානය කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි අසංස්කෘතික දේ සංවිධානය කරන ස්ථාන පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත පැමිණිලි කිරීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බවයි. එමෙන්ම මෙවර වෙසක් සමයේදී පරිසර හානිය අවම කිරීම අරමුණු කරගනිමින් ජාතික වෙසක් උත්සවය සඳහා වැඩි වශයෙන් තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමට සැලසුම් කර ඇති අතර, පරිසර හිතකාමී ලෙස වෙසක් සැමරීමට එක්වන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, වෙසක් උත්සව කාලය තුළ දන්සැල් සඳහා ජනතාව කැඳවීමේදී (නලා පිඹීම සහ සංඥා කිරීමේදී) බෞද්ධ කොඩිය භාවිත නොකර, ඒ වෙනුවට කහ පැහැති කොඩි පමණක් භාවිත කරන ලෙස දන්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය පිළිබඳව දැනටමත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බවයි. වෙසක් උත්සවයේ සහ බෞද්ධ කොඩියේ ඇති උත්තරීතර ආගමික වැදගත්කම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.










