“මට පපුවේ අමාරුවක් නෑ ඩොක්ටර්… ඉතින් ඇයි මම ලේ චෙක් කරන්නේ?” 🤔🩸
මහින්ද කියන්නේ වයස අවුරුදු 40ක් වුන ඇඟපත ෆිට් එකට තියෙන, හොඳට වැඩපල කරන කෙනෙක්. එයාට කිසිම අසනීපයක් තිබුණේ නෑ. ඒත් මහින්දගේ බිරිඳගේ බලකිරීමට එයා නිකමට වගේ වෛද්‍යවරයෙක් හමුවෙලා සාමාන්‍ය පරීක්ෂාවක් (Check-up) කරගන්න ගියා.
වෛද්‍යවරයා ලේ පරීක්ෂණ වගයක් ලියලා දුන්නම මහින්ද ඇහුවේ අර උඩින් දාලා තියෙන ප්‍රශ්නයමයි.
“ඩොක්ටර්, මට හාට් ඇටෑක් හැදෙන්න කිසිම අමාරුවක් නෑනේ. මම හොඳට වැඩ කරනවා. ඉතින් ඇයි මේවා කරන්නේ?”
වෛද්‍යවරයා හිනාවෙලා දීපු උත්තරේ, අපි හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක්.. ඒත් ගොඩක් අය දන්නේ නෑ..
👨 “මහින්ද, හාට් ඇටෑක් එකක් කියන්නේ හතුරෙක් වගේ. එයා එන්නේ දොරට තට්ටු කරලා නෙවෙයි. හැබැයි එයා එන්න කලින් එවන ‘ඔත්තුකාරයෝ’ ටිකක් අපේ ලේ වල ඉන්නවා. අපි මේ ටෙස්ට් වලින් අල්ලගන්නේ අන්න ඒ ඔත්තුකාරයන්ව.”
ඒ තමයි “අවදානම් සාධක” (Risk Factors). හෘදයාබාධයක් හැදෙන්න කලින් බේරෙන්න නම් කරන්න ඕන ප්‍රධානම රුධිර පරීක්ෂණ ටික ගැන අපි සරලව බලමු.
💁♀️ලිපිඩ පරීක්ෂාව (Lipid Profile)
ගොඩක් අය හිතන්නේ කොලෙස්ටරෝල් කියන්නේ එක ජාතියක් කියලයි.👉 නෑ, ඒකේ හොඳ නරක දෙකම තියෙනවා.
⚠️️ LDL (නරක කොලෙස්ටරෝල්): මේක හරියට ගෙදර වතුර බට ඇතුළේ හිරවෙන “කුණු රොඩු” වගේ. මේවා රුධිර නාල බිත්තිවල බැඳිලා ලේ ගමන හිර කරනවා. මේ අගය වැඩි නම්, ඔබට අනාගතයේ බ්ලොක් එකක් ඇතිවීමේ අවදානම වැඩියි.
❤️ HDL (හිතකර කොලෙස්ටරෝල්): මේක හරියට අර බට අස්සේ තියෙන කුණු සුද්ද කරන “පිරිසිදු කරන්නා” වගේ. මේක වැඩි වෙන තරමට හෘදයට හොඳයි.
⚠️️ Triglycerides: අපි කන පිටි සහ සීනි වැඩි වුණාම හැදෙන තෙල් වර්ගයක්.
💁♀️ රුධිර සීනි පරීක්ෂාව (FBS & HbA1c) – “බට දිරාපත් කරන මලකඩ” 🍬
දියවැඩියාව කියන්නේ හෘදයේ ලොකුම හතුරෙක්. රුධිරයේ සීනි වැඩි වුණාම, ඒ සීනි විසින් අපේ රුධිර නාලවල ඇතුළත බිත්ති වලට හානි කරනවා (හරියට යකඩ බටයකට මලකඩ කනවා වගේ).
⚠️️ HbA1c පරීක්ෂාව: මේකෙන් පහුගිය මාස 3 ඇතුළත සීනි පාලනය කොහොමද කියලා බලන්න පුළුවන්. සීනි පාලනය නැත්නම්, හෘද රෝග අවදානම ඉතා ඉහළයි.
💁♀️ hs-CRP පරීක්ෂාව (High Sensitivity CRP)
මේක ගොඩක් අය දන්නේ නැති, ඒත් වැදගත්ම පරීක්ෂණයක්.
ඔයාගේ කොලෙස්ටරෝල් Normal වුණත්, සමහරවිට රුධිර නාල ඇතුළේ යම් ප්‍රදාහයක් (Inflammation) තියෙන්න පුළුවන්. හරියට එළියට නොපෙනී ඇතුළෙන් පිච්චෙන ගින්නක් වගේ.
මෙම පරීක්ෂණයෙන් එම “ඇතුලතින් ඇති වී ඇති ප්‍රදාහය” හඳුනාගන්න පුළුවන්. hs-CRP අගය වැඩි නම්, කොලෙස්ටරෝල් අඩු වුණත් හෘදයාබාධයක් එන්න පුළුවන්.
💁♀️ මහින්දට මොකද වුණේ?
පරීක්ෂණ ප්‍රතිඵල ආවම මහින්ද පුදුම වුණා. එයාට ඇඟට අමාරුවක් නොතිබුණාට, එයාගේ LDL (නරක කොලෙස්ටරෝල්) ගොඩක් වැඩි වෙලා තිබුණා වගේම සීනි මට්ටමත් ටිකක් වැඩි වෙලා තිබුණා.
වෙලාවට ඩොක්ටර් හම්බුන නිසා, බෙහෙත් සහ කෑම පාලනය මගින් මහින්දට ලොකු හාට් ඇටෑක් එකකින් බේරෙන්න පුළුවන් වුණා. එදා එයා “මට අමාරුවක් නෑනේ” කියලා ගෙදර හිටියා නම්, අද කතාව වෙනස් වෙන්න තිබුණා.
ඔබේ වයස අවුරුදු 40ට වැඩි නම්, නැත්නම් පවුලේ කාටහරි හෘද රෝග තියෙනවා නම්, “අමාරුවක් හැදෙනකම්” ඉන්න එපා.
අඩුම තරමේ අවුරුද්දකට සැරයක්වත් Lipid Profile එක සහ සීනි (Sugar) මට්ටම බලන්න. වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය නම් hs-CRP එකත් කරගන්න.
වාහනේ සර්විස් කරන්නේ කැඩුණාම නෙවෙයිනේ, දුවන්න කලින්. ඉතින් ජීවිතේ ඊට වඩා වටිනවා නේද?
ස්තූතියි.
හෙදියකගේ දිනපොත








