ලෝකය ජය ගන්න වයස බාධාවක් නෙවෙයි කියන එක නැවතත් ඔප්පු කරපු අපූරු දියණියක් ගැනයි මේ කතාව. වයස අවුරුදු 7ක් කියන්නේ දරුවෝ අකුරුයි, සරල ගණනුයි පුරුදු වෙන කාලයක් වුණාට, කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙනගන්න නුරේෂි රුවිත්මා හෙට්ටිආරච්චි දියණිය ඒ හැමදේම වෙනස් කළා.
මැලේසියාවේදී පැවැත්වුණු “South East Asian Mathematical Olympiad (SEAMO 2025)” තරගාවලියේ වයස 6 – 8 කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නුරේෂි තේරුණේ මෙරට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ඉහළම ලකුණු ගනිමින්. සිංගප්පූරුවෙන් ආරම්භ වුණු, ජ්‍යාමිතිය, බීජගණිතය, අංකගණිතය, සංඛ්‍යා රටා, සම්භාවිතාව සහ තර්කන හැකියාව වගේ බැරෑරුම් විෂය කරුණු මනින මෙම අභියෝගාත්මක ලෝක තරගයේදී ඇය කළේ පුදුම හිතෙන වැඩක්. රටවල් 22ක අතිදක්ෂ දරුවන් සිය ගණනක් අතරින් සියලුම ප්‍රශ්න නිරවුල්ව විසඳූ ඇය ලකුණු 100න් 100ම (100/100) ලබා ගනිමින් ප්‍රථම ස්ථානය සහ රන් පදක්කම ලංකාවට දිනා දුන්නා.
“දිනන එක ගැනවත්, කාවවත් පරද්දන එක ගැනවත් හිතන්න එපා, කරන දේ හරියටම කරන්න” කියලා අම්මා දුන්නු අවවාදය හිසේ තබාගෙන තරගයට මුහුණ දුන් නුරේෂි, ජාතික කොඩිය අතැතිව ජාත්‍යන්තර ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නම අංක එකට එද්දී සංවේදී වුණු බව පවසා සිටියා. ඇගේ මේ දස්කම අසා ජනාධිපතිතුමා විසින්ද ඇයව ජනාධිපති මන්දිරයට කැඳවා විශේෂ ඇගයීමක් සිදු කළා.
වෛද්‍යවරයකු වන පියාගේ සහ නීතිඥවරියක වන මවගේ එකම දියණිය වන ඇය ගණිතයට විතරක් නෙවෙයි, ගායනය, ලේඛනය, කථිකත්වය, පිහිනුම් මෙන්ම 2023 සහ 2024 ජාතික සාහිත්‍ය උළෙලවලදීත් සම්මාන දිනූ දක්ෂකාරියක්. අනාගතයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් හෝ තාරකා විද්‍යාඥවරියක් වීමේ සිහිනය දකින නුරේෂි දියණිය, නිසි මගපෙන්වීම් ලැබුණොත් අපේ රටේ දරුවන්ට ජයගන්න බැරි ලෝක මට්ටමේ අභියෝගයක් නෑ කියන දේ මුළු රටටම පෙන්වා දී තිබෙනවා.










