අලුත් අවුරුදු නිවාඩුව ඉවර වෙලා හැමෝම ආපහු වැඩට යන්න ලෑස්ති වෙද්දී, හිත ගැහෙන විදියේ අමිහිරි පුවතක් පොලීසියෙන් නිකුත් කරලා තියෙනවා.
අවුරුදු කන්න ගිය, විනෝද වෙන්න ගිය පිරිසගෙන් 77 දෙනෙක්ටම ආපහු ගෙදර එන්න වාසනාව ලැබිලා නැහැ.
මේ සතිය ඇතුළත සිද්ධ වුණු දේවල් ඇහුවොත් ඔබත් පුදුම වේවි!පාරේ යනකොට පරිස්සමෙන්! අප්‍රේල් 10 ඉඳන් 18 වෙනකන් කාලය ඇතුළත මාරක රිය අනතුරු 45ක් වාර්තා වෙලා තියෙනවා. මේ අනතුරුවලින් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා. වැඩියෙන්ම මරණ වාර්තා වෙලා තියෙන්නේ යතුරුපැදි අනතුරුවලින් (16ක්). ඒ වගේම කාර්, වෑන් සහ කැබ් රථ අනතුරුත් මේ අතර තියෙනවා.
විශේෂම දේ තමයි, අවුරුදු නැකත් තිබුණු ඒ දවස් තුනේ (අප්‍රේල් 13, 14, 15) විතරක් රිය අනතුරුවලින් 19 දෙනෙක් මියගිහින්. පොලීසිය පෙන්වා දෙන්නේ 2025 අවුරුද්දට වඩා මේ පාර අනතුරු යම් ප්‍රමාණයකින් අඩු වුණත්, සිද්ධ වෙලා තියෙන විනාශය නම් සුළුපටු නැති බවයි.
අවුරුදු නිවාඩුවට නෑයෝ එක්ක, යාළුවෝ එක්ක නාන්න ගිය 30 දෙනෙක්ට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පවසන විදියට අප්‍රේල් 12 ඉඳන් 18 වෙනකන් විතරක් මේ මරණ 30 වාර්තා වෙනවා.
මියගිය අය අතර අවුරුදු 6ක පුංචි දැරියක් ඇතුළුව කාන්තාවන් 4 දෙනෙකුත් ඉන්නවා. වැඩිම පිරිසක් දියේ ගිලිලා තියෙන්නේ අප්‍රේල් 16 වෙනිදා. සාම්පූර්, කිතුල්ගල, හබරාදුව වගේ ප්‍රදේශ රැසකින් මේ අවාසනාවන්ත පුවත් වාර්තා වෙලා තියෙනවා.
අවුරුදු සතුට කියන්නේ මත්පැන් බීලා පාරේ වේගයෙන් යන එකවත්, නොදන්නා ජල පහරවල් වලට පනින එකවත් නෙවෙයි. එක මොහොතක නොසැලකිල්ල මුළු පවුලක්ම අනාථ කරන්න පුළුවන් කියලා මේ සංඛ්‍යාලේඛන අපිට මතක් කරලා දෙනවා.
ඔබත් පාරේ යනකොට සහ දියකෙළියට යනකොට මීට වඩා දෙපාරක් හිතන්න…









