Home දේශිය පුවත් ‘ගණන් බැහැ, මහත වැඩියි’ කියූ උජේසු බිඳ දමමින් වයස 17 දී අහස්...

‘ගණන් බැහැ, මහත වැඩියි’ කියූ උජේසු බිඳ දමමින් වයස 17 දී අහස් යාත්‍රාවක් පදවා ලංකාවේ ලාබාලතම කාන්තා පයිලට් වූ සත්නාරාගේ කතාව..

0
3

අවුරුදු දාහතක පුංචි දරුවෙක් තනියම අහස් යාත්‍රාවක් පදවනවා කිව්වොත් ඕනෑම කෙනෙකුට එකපාරටම පුදුම හිතෙන්න පුළුවන්. ඒත් ඒ අභියෝගය අභිබවා යමින්, වයස අවුරුදු 17 දී ශ්‍රී ලංකාවේ ළාබාලතම කාන්තා පෞද්ගලික ගුවන් නියමුවරිය බවට පත්වෙන්න සත්නාරා ක්‍රිස්ටිනා ප්‍රනාන්දු සමත් වුණේ ඇයගේ නොසැලෙන අධිෂ්ඨානය නිසාමයි.

ගුවන් සේවිකාවක් වූ මවගේ ආභාසය සහ කුඩා කාලයේ කටුබැද්දේ නිවසට ඉහළින් පියාසර කළ ගුවන් යානා දෙස බලා ඇති වූ ආශාව ඇය තුළ මේ හීනය පැළ කිරීමට මුල් වුණා. විශේෂයෙන්ම බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබද්දී පාසල් ක්‍රීඩා උළෙලකට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රථම කාන්තා නියමුවරිය වන කැප්ටන් අනූෂා මොහොමඩ් මුණගැසීම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා.

2019 සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු, ප්‍රතිඵල එනතුරුත් නොසිට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ සාමාන්‍ය දැනීම පරීක්ෂණයකින් සමත්ව සකුරායි ගුවන් පුහුණු පාසලට ඇතුළත් වූ ඇය, 2020 අගෝස්තු 18 දින රත්මලානේ සිට කළුතර දක්වා සිය පළමු පියාසැරිය සාර්ථකව නිම කළා. අනතුරුව 2021 දී වයස 17 සම්පූර්ණ වෙද්දී සිවිල් ගුවන් සේවා රෙගුලාසි යටතේ PPL බලපත්‍රය දිනාගන්නට ඇයට හැකි වුණේ Cessna සහ Piper යානා පදවමින් පැය 124කට අධික ගුවන් කාලයක් සටහන් කරමිනි.

කෙසේ වෙතත්, මේ ගමන කිසිසේත්ම පහසු වුණේ නැහැ. පාසල් සමයේදී ඇතැමුන් ඇයට “ගණන් බැහැ, මහත වැඩියි, පයිලට් කෙනෙක් වෙන්න බෑ” යැයි පවසමින් උපහාස කළත්, ඒ හැම වචනයක්ම ඇය තමන්ව වට්ටන බාධකයක් කරගත්තේ නැහැ; ඒ වෙනුවෙන් තවත් ඉහළට පියාසර කරන්න ලැබුණු පන්නරයක් කරගත්තා.

ගුවන් නියමුවරියකට එහා ගිය දක්ෂතා පෙන්වූ ඇය, උඩරට නර්තනයෙන් කලාපීඨයට පිවිස 2022 දෙරණ අවුරුදු කුමරිය තරගයේ තෙවන ස්ථානය (දෙවන අනුශූරතාව) දිනාගත් අතර, එහිදී ලැබුණු සම්මාන මුදල් පවා ‘Foundation of Goodness’ හරහා අසරණ පවුල් වෙත පරිත්‍යාග කළා. කැනඩාවේ Canadian Flight Centre හි Dispatcher වරියක ලෙස සේවය කරමින් අත්දැකීම් ලැබූ ඇය, වර්තමානයේ ටොරොන්ටෝ නුවර Humber College හි සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යනවා.

අපව පහළට දාන්න, හිනාවෙන්න උත්සාහ කරන මිනිසුන්ගේ විවේචන ජීවිතයේ ඉහළටම යන්න තියෙන ශක්තිමත්ම ඉනිමඟ කරගන්න පුළුවන් බව සත්නාරා තම ක්‍රියාවෙන්ම පෙන්වා දී තිබෙනවා.

Previous articleඅමාරුම දවස්වල අත දුන් මිතුරාට අමතක නොවන ප්‍රතිඋපකාරය: නේපාලයේ මහා ව්‍යසනයට ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක හදිසි මානුෂීය ආධාරයක්!
Next articleකොමඩු කෑල්ලකට මුළු ලෝකෙම අමතක වන ‘දෙව්මිණී’ නම් පුංචි ඇතින්න සහ ඇයව දරුවෙක් වගේ බලාගන්න ආදරණීය චමින්ද මාමාගේ කතාව
error: Content is protected !!
Verified by MonsterInsights