රිදීගම පොලිස් ස්ථානාධිපති නිල නිවසේ සුරතලයට ඇති දැඩි කළ අවුරුදු දෙකහමාරක් වයැසැති බළලෙක් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයට රැගෙන යාමෙන් පසුව එහි සිට කිලෝමීටර් 72 ක දුරක් ගෙවා ආපසු රිදීගමටම පැමිණීමේ සිද්ධියක් වාර්තා වෙනවා.
අවුරුදු දෙකහමාරක් පමණ වයසැති මේ බළල් සුරතලාගේ නම “ටුටූය”.
රිදීගම හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ මහතා එහි රාජකාරියේ නිරතව සිටියදී ඉබාගාතේ තම නිල නිවසට පැමිණි බළල් පැටවකු සුරතලයට ඇතිදැඩි කර ‘ටුටූ’ යනුවෙන් නම තබා ඇත.
පසුව ඔහුට මන්නාරම අඩප්පම් පොලිස් ස්ථානයට ලද මාරුවීමක් සමඟ නිල නිවසෙන් ඉවත්ව යාමේදී තම බඩුබාහිරාදිය සමඟ ‘ටුටූ’ නම් වූ තම බළල් සුරතලා ද හෙම්මාතගම පිහිටි ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ.
ඉන්පසුව සුබසිංහ මහතා තම රාජකාරි කටයුතු සඳහා මන්නාරමට පිටත්ව ගොස් සිටියදී නිවසට රැගෙන ගිය බළල් සුරතලා හදිසියේම පසුගිය මස 6 වන දින නිවසින් අතුරුදහන්වී ඇත.
ඉන් දින 22 කට පසුව පෙරේදා (27) දිනයේ ‘ටුටූ’ ආපසු තමන්ට හුරුපුරුදු පැරැණි නිවහනවූ රිදීගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණ ඇත.
මේ බළල් සුරතලා හඳුනාගත් පොලිස් නිලධාරියකු ඒ පිළිබඳව සුබසිංහ මහතාට දැනුම් දී තිබේ.
හෙම්මාතගම සිට මාවනැල්ල, රඹුක්කන, මාවතගම වැනි නගර පසු කරමින් කිසිදු උපද්‍රවයකට ගොදුරු නොවී ටුටූ කිලෝමීටර් 72ක් වැනි ඉතා දිගු දුරක් ඉව ඔස්සේ මේ ආකාරයට ආපසු රිදීගමටම නිරුපද්‍රිතව පැමිණීම විශ්මයජනක කරුණක් බව පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා පවසනවා.
නිසි පරිදි ආහාර නොලැබීම හේතුවෙන් ටුටූ තරමක් කෙට්ටු වී සිටින බව සදහන්.











